SexEducation
ඔක්කොම හොයන ලිංගික සතුට.
සාර්ථක පවුල් ජීවිතයක් පවත්වාගෙන යාමට නම් එම පවුලේ කාන්තා, පිරිමි දෙපාර්ශ්වය අතර මනා ලිංගික සබඳතාවයක් පැවතීමද අනිවාර්ය අවශ්‍යතාවයකි. පිරිමියා හෝ කාන්තාව ලිංගිකත්වය අතින් දුර්වල වීම පවුලක කඩාවැටීමට බොහෝදුරට හේතුසාධක වන අතර අයථා සම්බන්ධතාවයන් ඇතිවීම කෙරෙහිද මෙවැනි තත්ත්වයන් බලපායි. මෙහිදීද පිරිමි පාර්ශ්වය ගත්විට ලිංගික අප්‍රාණිකත්වය හා මඳසරු බව අද පිරිමින් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. ආයුර්වේදීය ප්‍රතිකාර ක්‍රම හරහා මෙවැනි තත්ත්වයන් මුළුමනින්ම වාගේ වළකා ගැනීමේ හැකියාව ඇති අතර බොහෝ දෙනකු මෙවැනි රෝග තත්ත්වයට පත්වන්නේ නොදැනුවත් බව නිසාවෙනි. අද අපේ වෙදකමෙන් අප අවධානය යොමු කරන්නේ වාජීකරණය හා පිරිමින්ගේ මඳසරු බව පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් අපව දැනුම්වත් කරන්නේ ආයුර්වේද වෛද්‍ය සුජීව විතානගේ මහතායි.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන්නේ ඈත අතීතයේ ඉඳලාම ඉතා පැහැදිලිවම මිනිසාට ප්‍රතිකාර කිරීම සඳහා හොඳින්ම සංවිධානය වුණු වෛද්‍ය ක්‍රමයක්. වර්තමාන වෛද්‍ය විද්‍යාව අනුව රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී අපි විවිධ කාණ්ඩවලට බෙදාගෙන තිබෙනවා. ළමා රෝග, ස්ත්‍රී රෝග, ශල්‍ය අංශය, චිකිත්සා, අස්ථි සන්ධි ආදී වශයෙන්. අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළද බොහොම පැහැදිලිව ප්‍රතිකාර ලබාදෙන්නේ අටවැදෑරුම් ක්‍රමවේදයක් ඔස්සේයි. මෙතනදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෙ එකල සමාජ අවශ්‍යතාවයක් ලෙස ගත්තත්, රාජ්‍ය නියෝගයක් ලෙස ගත්තත් විශේෂයෙන්ම සාකච්ඡා වුණු දෙයක් තමයි රසායනික ප්‍රතිකාර හා වාජීකරණ ප්‍රතිකාර කියන දේ. මේක එදා දවස තුළ සමාජයට ඉතා වැදගත් සාධකයක් වෙලා තිබුණා. දැන් අපි අද රූපලාවණ්‍ය ගැන මහ ඉහළින් යම් යම් දේ කරගෙන යද්දී මේ අවුරුදු තුන් හතර දහසකට පෙර කොහොමද අපේ රූප සම්පත්තිය හොඳින් පවත්වා ගත්තේ, තරුණ බව කොහොමද පවත්වා ගන්නේ කියන එක අපේ වෛද්‍ය ක්‍රමය තුළින් හොඳින් සාකච්ඡා වෙලා තියෙනවා. රසායන ප්‍රතිකාර ක්‍රමවේදය තුළ කතාකර තිබෙන්නේම නිරෝගීව සිටීම හා වයසට යාම වළක්වා ගැනීම කියන කාරණා පිළිබඳවයි.
ඊට අමතරව වාජීකරණ තන්ත්රය ගත්තම මෙම වාජීකරණය එදා සමාජයට කාරණා කිහිපයක් මත අවශ්‍ය වුණා. ඉන් එකක් තමයි හොඳ ප්‍රජාවක් පවත්වාගෙන යාම. ශ්‍රමය මූලික කරගත් එවක සමාජය තුළ මනුෂ්‍යයා වැදගත් සාධකයක් වුණා. ඒ නිසා වර්ගයා බිහිකිරීම කියන කාරණයට ඉතා වැදගත් ස්ථානයක් දීලා තිබුණා.
එකල රජවරුන්ට වුණත් තමාගේ ලිංගික අවශ්‍යතාවයන් සඳහා අන්තඃපුරය වෙත පිවිසීමේදී වඩාත් ශක්තිමත් ලෙස ඒ කර්තව්‍යයන්හි නියැළීමට මංපෙත් හෙව්වා. ඒ අනුව තමයි මේ වාජීකරණ තන්ත්රය දියුණුවෙලා අපේ වෙදකම ඇතුළේ තියෙන්නේ.
ඔබ සතුටින්ද?
ලිංගිකත්වය යන්න ආසියානු සමාජය තුළ විවෘතව කතා නොකරන මාතෘකාවකි. ලිංගිකත්වය ගැන කතා කිරීමට ඇති අපහසුතාවය නිසාම පවුල් සංස්ථාව තුළ අතිශයින්ම පීඩාකාරී, වේදනාකාරී ජීවිත ගත කරන පිරිස් සිටින බවට පිළිගත යුතුය. ඇත්තෙන්ම අද වනවිට වැඩිදෙනා සිටින්නේ සතුටින් නොවේ යැයි කිවහොත් ඇතැම් පිරිස් එය පිළි නොගනු ඇත. නමුත් සත්‍යය එයය. සෑම මනුෂ්‍යයකු හටම කන්න බොන්න, ඉන්න හිටින්න සේම නිදහස් ලෙස ජීවත්වීමටද හැකියාව තිබිය යුතුය. මේ දේවල් හරිහැටි ඉටු නොවීමේදී ඔහු කායිකාව මෙන්ම මානසිකවද පිරිහීමට ලක්වේ. එය මුළු ජීවිතයටම බලපාන්නක් වන අතර ඔහුගේ ලිංගික ජීවිතයටද ඍජුවම එය බලපායි.
වාජීකරණ චිකිත්සා
පුරුෂයන්ගේ ලිංගික දුර්වලතාවයන් මර්දනය කිරීම වාජීකරණයේදී සිදුකෙරෙන අතර ආයුර්වේදයේ වාජීකරණ චිකිත්සා ක්‍රම කිහිපයක්ම ඇත. එසේම ලිංගික දුර්වලතා සඳහා ඇතැම් විට මානසික හේතූන්ද බලපාන අතර මේ සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ඉතාම හොඳ මානසික ප්‍රතිකාර පද්ධතියක්ද ඇත. ඊට අමතරව ශක්තිමත් පුද්ගලයකු බිහිකිරීම සඳහා දිනෙන් දින ඒ පුද්ගලයාට ලබාදිය යුතු පෝෂණ ඖෂධ සම්බන්ධයෙන්ද ආයුර්වේදයෙහි සඳහන්ව ඇත.
පවුල් ජීවිතය තෘප්තිමත්ද?
පවුල් ජීවිතයක තෘප්තිමත් භාවය පවත්වාගෙන යාමට ලිංගිකත්වය ප්රබලතම සාධකයක් බව අපි මුලදීද සඳහන් කළෙමු. අද වනවිට බොහෝ දෙනෙකුගේ පවුල් ජීවිත අතෘප්තියෙන් පිරී ඇති අතර මේ බොහොමයක් ගැටලු ඇතිවීම සඳහා බලපා ඇත්තේ පුද්ගලයන්ගේ නොදැනුවත්භාවයයි. සාකච්ඡා කිරීම, තිබෙන දුර්වලතාවයන් නැතිකර දැමීම හරහා තෘප්තිමත් ජීවිතයක් අත්පත් කරගත හැක. ජීවිතය යනු මුදල් පසුපසම හඹා යන්නක් නොවන බවද මෙහිදී අවබෝධ කරගත යුතු අතර ප්‍රතිකාර ක්‍රියාවලියේ මූලිකව සිදුකළ යුත්තේ හොඳ මානසික තත්ත්වයක් පවත්වා ගැනීමය.
දුර්වල ලිංගිකයන් හැමවිටම ආවේගශීලියි
යම් පුරුෂයකු ලිංගික දුර්වලතාවයකින් පෙළෙන්නකු නම් ඔහු විවාහවීමටද යම් මැලිකමක් දක්වන අතර ඔහුගේ විවාහ ජීවිතය කිසිදු ලෙසකින් සාර්ථක එකක් වන්නේ නැත. මොහු සමඟ විවාපත් වන කාන්තාව තම පවුල රැකගැනීමේ උවමනාව නිසාම ලිංගික ජීවිතයේ අසීරුතාවන් ඉවසා සිටින අතර ඇයද ජීවිතයේ කිසිදු සතුටක් නොලබයි. එසේම ලිංගික ශක්තියෙන් දුර්වල පුරුෂයා හට තම ලිංගික ජීවිතයේ සතුටක් නොලබන නිසාම ඔහු හැමවිටම ආවේගශීලී ගතිගුණ පෙන්නුම් කරයි.
ඇඟ තිබුණාට වැඩ නෑ
ලිංගික එක්වීමකදී කාන්තාව හා පිරිමියා යන දෙපාර්ශ්වය අතර මනා අවබෝධයක් තිබීම ඉතා වැදගත්ය. ලිංගික කාර්යාවලියෙහි නියැළෙන අතරතුර එක් අයකු තවත් කෙනකුගේ දුර්වලතාවයන් එකවරම ප්‍රකාශ කිරීමෙන් එම පුද්ගලයා මානසිකව ඇද වැටීම නිසා එම ක්‍රියාවලිය හරිහැටි සිදුකරගත නොහැකි වේ. එක් වෛද්‍ය සායනයකට පැමිණි යුවලකගේ ගැටලු සම්බන්ධයෙන් කතා කිරීමේදී මේ බව මනාව පැහැදිලිය. මෙම යුවල පාසල් කාලයේදී වසර කිහිපයක්ම පෙම්වතුන් වූ අතර විවාහ වී ටික කලක් ගතවීමෙන් අනතුරුව ඔවුන් ලිංගික ජීවිතයට විරාම තබා ඇත. එයට හේතු වශයෙන් එම පුරුෂයා පවසා තිබුණේ ලිංගිකව එක්වන අවස්ථාවේදී ඔයාගේ ඇඟ විතරයි වැඩ නෑ කියා කාන්තාව පැවසීමත් සමගම ඔහු ඇය සමඟ එක්වීම නතර කිරීමය. මෙහිදී පුරැෂයා දිගින් දිගටම තම බිරිඳව ප්‍රතික්ෂේප කරන්නේ එම මොහොතේ තම මානසික ශක්තිය දුර්වල වීමත්, තමා දුර්වලයෙකු බවට නොපිළිගන්නා පුරුෂාධිපත්‍ය ඉදිරියට පැමිණීම නිසාය.
දියවැඩියාව, හෘද රෝග ලිංගික ජීවිතය දුර්වල කරයි
විවිධ වූ රෝග අවස්ථාවන් ලිංගික බෙලහීනතාවය ඇතිවීම සඳහා ඍජුවම බලපාන අතර දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, පිළිකා, වකුගඩු රෝග, ස්නායු රෝග, හෝමෝනවල ගැටලු මේ සඳහා නිදසුන්ය. දියවැඩියාව වැනි රෝග අවස්ථාවන් ගත්විට වසර හය හතක් පමණ දියවැඩියාවෙන් පෙළෙන්නකු ස්වභාවිකවම ලිංගික බෙලහීනතාවයට පත්විය හැකිය. අනෙකුත් රෝග අවස්ථා සඳහාද මෙම තත්ත්වය මෙසේම වන අතර මෙම රෝගවලට ප්‍රතිකාර කිරීම හරහා මෙවැනි ගැටලු මගහරවා ගැනීමේ හැකියාව ඇත. එහෙත් දියවැඩියාව වැනි අවස්ථාවකදී මෙම තත්ත්වය සුව කිරීම මඳක් අපහසුය.
නාකි විසේ ගෙටත් උසේ
ලිංගික බෙලහීනතාවය ඇතිවීම සඳහා සියයට 90ක් පමණම බලපාන්නේ මානසික හේතූන්ය. විවිධ පුද්ගලයන්හට මෙම තත්ත්වය විවිධ වන අතර ඇතැම් පුද්ගලයන් වැඩිපුරම ලිංගිකව ක්‍රියාශීලී වන්නේ වයස අවුරුදු හැට හැත්තෑවක් පසුවූ පසුවය. මේ සඳහා ඒ ඒ පුද්ගලයන්ගේ ග්‍රහචාරයද හේතුවිය හැකිය. මීට අමතරව තරුණ වයසේදී ඉතාම ශාන්ත කිසිම හැඟීමක් දැනීමක් නැති පුද්ගලයන් ලෙසද සිටින පිරිසක් ඇත. ඔවුන් පසුකාලීනව එලෙස හැසිරෙන්නේ කුමන හේතුවක් නිසාදැයි ජීව විද්‍යාත්මකව පෙන්වීමේ හැකියාවක් නැත.
බාල අපචාර ලිංගික බෙලහීනතාවයට හේතුවක්
බාල අවධියේදී යම් අපචාරයකට ගොදුරු වූ පුද්ගලයකු වැඩිවියට පත්වීමෙන් පසුව බෙලහීන ලක්ෂණ පෙන්නුම් කළ හැකිය. එසේම නිවැරදි අධ්‍යාපන ක්‍රමවේදයන් අනුගමනය නොකළ පිරිස් මෙන්ම සංස්කෘතිය, සදාචාරය කෙරෙහි අවශ්‍ය ප්‍රමාණයටත් වඩා යොමුවූ පිරිස්ද ලිංගික වශයෙන් යම් පසුබෑමක් දක්වන පිරිස් අතර වේ.
විකෘති ලිංගික ක්‍රියාකාරකම්
ගෝලීයකරණයත් සමඟ සමාජයේ බොහෝ දෙනාගේ ක්රියාකාරීකම්වලද යම් යම් වෙනස්කම් සිදුවී ඇති අතර විකෘති ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි වශයෙන් යොමුවීමටද සමාජයෙහි බහුලවම දක්නට ලැබෙන්නකි. මේ නිසා බොහෝදුරට සිදුවන්නේ තමන්ගේ ස්වභාවික ලිංගික ශක්තිය හීන වීමයි. මත්ද්‍රව්‍ය, මත්පැන්ද මේ කෙරෙහි බලපෑම් ඇති කරයි.
ළමයින්ට නුසුදුසුයි
අන්තර්ජාලය මගින් සිදුකරන බලපෑම් ඇතුළු තවත් කාරණා හරහා දරුවන් තමන්ට නුසුදුසු වයසේ පටන්ම ලිංගික අත්දැකීම් ලබාගැනීම ඉතා භයානක තත්ත්වයකි. මෙවැනි දේට කුඩා කළ පටන්ම පෙළඹීම නිසා මොවුන් අවුරුදු 30 පමණ වනවිට ඔවුන්ට තවත් ලබාගත යුතු ලිංගික අවශ්‍යතාවන් නොමැති හෙයින් ජීවිතේ එතැනින් එහාට ඔවුන් සිදුකරන ලිංගික ක්‍රියා විකෘති මට්ටමේ ඒවා විය හැකිය. එවැනි පුද්ගලයන් තමන්ගේ ඉදිරි ලිංගික ජීවිතය තුළ ආදරය, හැඟීම්, සතුට මේ කිසිදු දෙයක් ලබා නොගනී.
වාජීකරණ ප්‍රතිකාර
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ එන වාජීකරණ ප්‍රතිකාර හරහා ලිංගික ක්‍රියාවන් සඳහා අවශ්‍ය කායික ශක්තිය වර්ධනය කිරීම සිදුකරනු ලැබේ. එම ප්‍රතිකාර හරහා හොඳ ශක්තිවන්ත පුද්ගලයකු සමාජයට බිහිකිරීම සිදුකෙරේ. එදා වාජීකරණ ප්‍රතිකාර අවශ්‍ය වූයේ සමාජ අවශ්‍යතාවයන් පවත්වා ගැනීමටය. නමුත් අද වනවිට ඒ තත්ත්වය බොහෝදුරට වෙනස් වී ඇති අතර වර්තමානයේ බොහෝ දෙනා වාජීකරණය කෙරෙහි යොමුවන්නේ ලිංගික ජීවිතයේ සතුට වර්ධනය කර ගැනීම සඳහාය. කෙසේ වෙතත් නිරෝගී ජනතාවක්, නිරෝගී මානසිකත්වයක් වගේම සමාජ සම්බන්ධතා තිබෙන පවුලක්, සතුටෙන් සිටින මිනිස්සු බිහිකිරීම මෙම ප්‍රතිකාර ක්රමයේ සැබෑ අරමුණය.
මඳ සරු නම් දරුවො හදන්න බෑ
දරුඵල අහිමිවීම අද සමාජයේ ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව ඇති අතර මේ සඳහා වැඩිපුරම හේතු වී ඇත්තේ පිරිමි, කාන්තා යන දෙපාර්ශ්වයම මඳසරු බවයි. පාරිසරික, සමාජයීය, මානසික ඇතුළු විවිධ කාරණා මේ සඳහා බලපාන අතර අපගේ වැරදි පුරුදුද එයට බෙහෙවින්ම බලපායි. නිදසුනක් ලෙස එක් තරුණයකු තමන්ගේ ලිංගික තෘප්තිය සඳහා වෘෂණ කෝෂ මඳ උණුසුම් ජලයේ තබාගෙන සිටීම කාලයක සිට පුරුද්දක් ලෙස කරගෙන ගොස් ඇතිඅතර ඒ නිසාම ඔහු සදාතනික වඳ පුද්ගලයකු බවට පත්වී ඇත. වෘෂණ කෝෂ සාමාන්‍යයෙන් සිසිල් පරිසරයේ තිබිය යුතු අතර ඔහු එලෙස වඳ භාවයට පත්වුණේ ඔහුගේ වැරදි පුරුද්ද නිසාය. ඊට අමතරව තද යට ඇඳුම් නිතරම ඇඳ සිටීමද වඳ භාවයට හේතුවක් විය හැක. සරු පුද්ගලයෙකු නිර්මාණය කර ගැනීමට නම් ඔහුට උපතේ පටන්ම නිවැරදි පුරුදු ලබාදිය යුතුය.
වැල් පෙනෙල, හාතාවාරිය හොඳ වාජීකරණ ඖෂධ
වාජීකරණ ප්‍රතිකාර ක්‍රම සඳහා ඒ ඒ පුද්ගලයන්ට අනුව විවිධ ඖෂධ භෘවිත කෙරේ. වැල් පෙනෙල, හාතාවාරිය, අමුක්කරා, ජිම්සම්, කංසා, අබිං වැනි ඖෂධ වාජීකරණ හැකියාවන් වර්ධනය කෙරෙන ඖෂධ වන අතර මේවාට අමතරව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මේ සඳහාම සැකසූ සුවිශේෂී වට්ටෝරු ඇත. මෙම ඖෂධ වර්ග සකස්කර ඇත්තේ ඒ ඒ පුද්ගලයාගේ රෝගී අවස්ථාවට අනුවය.
පවුල තුළ පෞරුෂත්වය ගොඩනගා ගන්න
අප සමාජය තුළ පියා පවුල වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කරන අතර තරැණ කාලයේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම නිසා මැදිවියට එළඹෙන විට ඇතැම් විට ඔහුගේ පුරැෂ ශක්තිය හීනවිය හැක. මෙවැනි අවස්ථාවන්වලදී පවුල තුළ ඔහුගේ පෞරැෂත්වය බිඳ වැටෙන අතර ඔහු මානසිකවද යම් කඩාවැටීමකට ලක්වී වාජීකරණ ප්‍රතිකාර ක්‍රම හරහා මෙවැනි පුද්ගලයන්ගේ ක්‍රියාකාරීත්වය නැවත වර්ධනය කළ හැකි අතර ඔහුට තෘප්තිමත් ජීවිතයක්ද ලබාදිය හැක. මේ ආකාරයට ඕනෑම පවුල් සංස්ථාවක බැඳීම් නොනැසී ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වාජීකරණ ප්‍රතිකාර ක්‍රම හරහාද සුවිශේෂී දායකත්වයක්ද ලැබේ.