Life
හේතුව ඉක්මනින් හඳුනාගැනීම කොන්දෙ කැක්කුම සුවකිරීමට පහසුවක්
කොන්දේ කැක්කුමට බලපාන හේතු කීපයක්ම පිළිබඳව පසුගිය සතියේ සාකච්ඡා කළා ඔබට මතක ඇති. අද ඒ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු විමසා බලමු.
වයස්ගත වීමත් කොන්දේ කැක්කුමට බලපාන එක් හේතුවක්. ඊට හේතුවන්නේ කොන්දේ අස්ථිවල ඇතිවන දුර්වලතාවයනුයි. විශේෂයෙන් ම කාන්තාවන්ගේ ආර්ථවය නැවතීමෙන් පසුව වයස අවුරුදු 50 - 60 අතර වනවිට ශරීරයේ ඊස්ට්‍රජන් හෝමොන ප්‍රමාණයේ අඩුවීමක් සිදුවෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ අස්ථි භවනය හෙවත් අස්ථිවල කැල්සියම් තැන්පත්වීම අඩුවීමයි. මෙහිදී කැල්සියම් මෙන් ම පොස්පරස් සහ ප්‍රෝටීන ද අඩු වෙනවා. එවිට අස්ථි දුර්වල වෙනවා. ඉහතින් සඳහන් කළ සංඝටක ශරීරයේ මදවීම නිසා සිදුවන අස්ථිවල දුර්වලතාවය හඳුන්වන්නේ ‘ඔස්ටියෝපොරෝසිස්’ නමින්. මෙම තත්ත්වයට බෙහෙවින් ම මුහුණ දෙන්නේ වැඩිහිටි කාන්තාවන්. වයස අවුරුදු 70 පමණ ඉක්මවූ පිරිමින්ට ද මෙම තත්ත්වය ඇතිවීමේ හැකියාව තිබෙනවා. ඔස්ටියෝපොරෝසිස් රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණය වන්නේ කොන්ද ආශ්‍රිතව ඇතිවන අධික වේදනාවයි. වයස් ගතවූවිට ඇතිවන මෙම රෝගී තත්ත්වයෙන් මිදීමට ළමා වියේ දී මෙන් ම තරුණ වියේදීත් කැල්සියම්, ප්‍රෝටීන, පොස්පරස් බහුල ආහාර ගැනීම ඉතාම වැදගත්. එය ඉතා පහසුයි. එළකිරි, කිරිවලින් නිෂ්පාදනය කරන වෙනත් ආහාර, හාල්මැස්සන්, සාලයන්, කූනිස්සන් වැනි කුඩා මාළු වර්ග දිනපතා ආහාරයට එක්කර ගැනීමෙන් අපට දිනකට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය පහසුවෙන් ලබාගත හැකි යි. රූපවාහිනියෙන් විකාශය වන යම් යම් පිටිකිරි දැන්වීම්වලට නොරැවටී දියර කිරි පානයට පුරුදුවීමයි වඩාත් සුදුසු වන්නේ. කොන්දේ අස්ථිවලට ඔස්ටියෝපොරෝසිස් රෝගය බලපෑමේ ප්‍රතිඵලය වන්නේ ඉතා සුළු වැටීමකින් පවා කොන්දේ අස්ථි බිදීයාමයි. ඔස්ටියෝපොරෝසිස් රෝගය පිළිබඳ වැඩිදුරටත් තොරතුරු ඉදිරි සතියකදී කතා කරමු.
කොන්දේ අමාරු ඇතිවීමට හේතුවන තවත් එක් ප්‍රධාන කරුණක් තමයි කොන්ද ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහයන්. ඒ සඳහා රුමටොයිඩ් ආතරයිටිස්, ඔස්ටියෝ ආතරයිටිස් වැනි රෝගී තත්ත්වයන් ප්‍රධාන වශයෙන් ම හේතු වෙනවා. කොන්දේ අස්ථිවලට මෙන් ම ශරීරයේ අනෙකුත් සන්ධිවලටත් ඉහත ආතරයිටිස් රෝගවල බලපෑම ඇතිවිය හැකියි. උදාහරණයක් ලෙස වැලමිට සන්ධිය ඉදිමීම සමඟම මෙහිදී කොන්දේ ඇති සන්ධිවලත් ඉදිමීමක් ඇතිවෙනවා. එහිදී කොන්දේ වේදනාවක් කැක්කුමක් ඇතිවෙනවා. මෙම රෝගී තත්ත්වය නිවැරැදිව හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් කොන්දේ කැක්කුමෙන් මිදෙන්න පුළුවනි.
යම් යම් විෂබීජ ආසාදන නිසාත් කොන්දේ කැක්කුම ඇතිවන බව ඔබ දන්නවාද? විශේෂයෙන් ම රෝග කාරක බැක්ටීරියාවන් කොන්දේ අස්ථිවලට ඇතුළුවීම නිසා කොන්දේ ආසාදන තත්ත්වයත් ඇතිවෙනවා. මෙය බොහෝ කලාතුරකින් ඇතිවන රෝගී තත්ත්වයක්. මෙහිදී රෝගියාට තද කොන්දේ කැක්කුමක් ඇතිවෙනවා සේ ම අධික උණ, ශරීරය තලා පෙළා දැමුවා සේ දැනීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කෙරෙනවා. ඉහත සඳහන් කලාක් මෙන් මෙම රෝගී තත්ත්වය තරමක් දුර්ලභ වුවත් මෙම රෝගයේ ප්‍රතිඵල තරමක් දරුණු විය හැකියි. රුධිර පරික්ෂාවක් සමඟ තවත් පරීක්ෂණ කීපයකට රෝගියාට යොමු කිරීමෙන් මෙහිදී ආසාදනය වී ඇති විෂබීජ නිවැරැදිව හඳුනාගත හැකි වන අතර ඉන්පසුව වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් රෝගය සම්පූර්ණයෙන් ම සුවපත් කිරීමේ හැකියාව තිබෙනවා.
ක්ෂය රෝග විෂබීජය කොන්දට බලපෑම් කරන බව ඔබ දන්නවාද? ඔව් එය සත්‍යයක්. ක්ෂය රෝග විෂබීජය කොන්දට ආසාදනයවීම නිසාද කොන්දේ කැක්කුම ඇතිවෙනවා. බොහෝ දෙනෙක් සිතන්නේ ක්ෂය රෝග විෂබීජ බලපෑම් කර ආසාදනය වන්නේ ස්වසන පද්ධතිය ආශ්රිත පෙනහළු වැනි ඉන්ද්‍රියයන්ට පමණක් බවයි. එය සත්‍යයක් නොවේ. ක්ෂය රෝග විෂබීජය කොඳු ඇට පෙළෙහි අස්ථිවලටත් ආසාදනය වෙනවා. මෙහිදී අධික කොන්දේ කැක්කුමක් රෝගියාට දැනෙන්නේ නෑ. මෙහිදී උණ ගැනීමක් සිදුවන්නේත් නෑ. මෙම කොන්දේ අමාරුව කලක් පවතිනවා. ඔබගේ නිවසේ ක්ෂය රෝගය වැළඳුණු අයකු සිටී නම්, ඔබගේ කාර්යාලයේ හෝ මගතොටේදී ක්ෂය රෝගය වැළඳුණු අයකු ඇසුරු කරන්නට සිදුවී නම්, ඔබට කොන්දේ කැක්කුමක් සමඟ ක්ෂය රෝග ලක්ෂණත් ඇත්නම්, වඩාත් සුදුසු වෛද්‍යවරයකු හමුවීමයි. මෙහිදී සඳහන් කළයුතු වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි කොන්දේ අමාරුව සෑදී ඇත්තේ ක්ෂය රෝගය විෂබීජ කොඳු ඇට පෙළට ආසාදනය වීම නිසා නම්, සම්පූර්ණ සුවයක් ලබාගැනීම සඳහා නොකඩවා මාස 9 ක් පමණ වෛද්‍ය ප්‍රතිකාර කළ යුතු බවයි. කොඳු ඇට පෙළට ක්ෂය රෝග විෂබීජය බලපෑ විට කොන්දේ අස්ථි දුර්වලවීමක් මෙන් ම කොඳු ඇට පෙළ ඇදවීමක් සිදුවෙන්න පුළුවනි. ඒ නිසයි මෙම රෝගී තත්ත්වයේදී වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු වන්නේ.
කොන්ද ආශ්‍රිතව පිළිකා ඇතිවීම කොන්දේ අමාරු ඇතිවීමට හේතුවන තවත් සාධකයක්. මෙහිදී පිළිකා වර්ග දෙකක් පිළිබඳව සඳහන් කළ යුතුයි. ඒ ප්‍රාථමික පිළිකා සහ ද්විතික පිළිකා ලෙස. ප්‍රාථමික පිළිකා ලෙස හඳුන්වන්නේ කොඳු නාරටියේ ම අස්ථිවල ඇතිවන පිළිකා. බොහෝ විට මෙම පිළිකා ඇතිවීමට හේතුවන්නේ කොඳු නාරටියේ අස්ථිවල සෛලවල සිදුවන වෙනස්වීම්. ඒ ඔස්ටියෝ සාකෝම” මයලෝමා සහ කොන්ඩොසාකෝමා යන පිළිකා.
ඊට අමතරව ශරීරයේ වෙනත් ස්ථානයක ඇතිවන පිළිකාවක් කොඳු ඇට පෙළ දක්වා පැතිරී යාමට ද ඉඩ තිබෙනවා. උදාහරණයක් ලෙස පියයුරුවල, වකුගඩුවල, පුරස්ථ ග්‍රන්ථියේ ගර්භාෂයේ, මෙන් ම තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන පිළිකා ද ශරීරය පුරා පැතිරී කොඳු නාරටියට ද බලපෑම් කිරීමට ඉඩ තිබෙනවා. මෙය ද පෙන්නුම් කරන්නේ කොන්දේ අමාරුවක් ලෙසයි. X – Ray සහ ස්කෑන් පරීක්ෂාවකින් මෙම රෝගී තත්ත්වය ඉතාම පහසුවෙන් හඳුනාගත හැකියි. කොන්දේ අමාරුවලට හේතුවන කාරණා අතරින් පිළිකාවක් නිසා කොන්දේ අමාරු ඇතිවීම ඉතා දුර්ලභ සිදුවීමක්. එහෙත් කොන්දේ අමාරුවක් ඇතිවූ විට ඉහත පරීක්ෂණයන්ට භාජනයවී සැකහැර ගැනීම වැදගත්. ඒ සඳහන් කළේ කොන්දේ අමාරුවලට බලපාන ප්‍රධාන හේතු.
ප්‍රධාන හේතු වලට අමතරව කොන්දේ වේදනාව ඇතිවීමට බලපාන තවත් කරුණු රාශියක් ම තිබෙනවා. ඇතැම් තරුණ ගෑණු ළමයින්ගේ ඔසප්වීම සිදුවන දින කීපය තුළදී ඇතිවන කොන්දේ අමාරුව ඉන් එකක්. මේවා රෝගී තත්ත්වයක් ලෙස සැලකිය යුතු නෑ. තරුණියන් තුළ බහුල මෙම කොන්දේ කැක්කුම සඳහා හේතු වන්නේ ගර්භාෂය, කොඳුනාරටිය ආශ්‍රිතව තිබෙන බන්ධනී සහ ඒ ආශ්රිත පටකවල ඇතිවන තත්ත්වයක්. එම කැක්කුම කොඳු නාරටියටත් දැනෙන්න පුළුවනි. ඒ නිසයි මෙහිදී ඇතිවන කැක්කුම කොන්දේ කැක්කුමක් ලෙස හඳුන්වන්නේ.
ඊට අමතරව ගර්භාෂය ආශ්‍රිතව ඇතිවන යම් යම් ආබාධ නිසාත් කොන්දේ කැක්කුම් ඇතිවෙනවා. එයට හේතු වන්නේ ඉහතින් සඳහන් කළ ආකාරයට ගර්භාෂය ආශ්රිත බන්ධනී කොන්ද ප්‍රදේශයට සම්බන්ධ වීමයි. එසේ ම ගර්භනී අවස්ථාවේදීද කාන්තාවන්ගේ කොඳු නාරටිය ආශ්‍රිතව කැක්කුම් ඇතිවෙනවා. එයට හේතුව වන්නේ ගර්භාෂය විශාල වීමත් සමඟ ම ගර්භාෂයේ බරත් කොඳු නාරටියට දැනීමයි. මෙය බිය විය යුතු කරුණක් නොවේ.
කොන්ද ආශ්‍රිතව ඇතිවන කැක්කුම් වේදනාවන් නොසළකා හැරීම කිසිසේත් ම සුදුසු වන්නේ නෑ. දින තුනකට වැඩියෙන් කොන්දේ අමාරුවක් පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් පැතීමයි සුදුසු. ඒ; කොන්දේ අමාරුවට හේතුව ඉහත සඳහන් කළ හේතුන්ගේ සරල එකක් මෙන් ම බරපතල හේතුවක් ද විය හැකි නිසයි. වඩාත්ම වැදගත් වන්නේ කොන්දේ කැක්කුමට හේතුව නිවැරදිව හඳුනා ගැනීමයි.
ඉහතදී, සඳහන් කළ යාන්ත්‍රික හේතූන් නිසා ඇතිවූ කොන්දේ, අමාරු සම්පූර්ණයෙන් ම සුව කළ හැකියි. එසේ වුවත් ඒ සඳහා කලක් ගත වෙනවා. මෙහිදී ඖෂධ භාවිතය මෙන් ම භෞත චිකිත්සක ප්‍රතිකාර ද ඉතා වැදගත්. භෞත චිකිත්සක ප්‍රතිකාරවලදී Ultra Sound ප්‍රතිකාර මඟින් කොන්දේ අමාරුවලට ලැබෙන්නේ විශාල සහනයක්. එසේම භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රම මඟින් ලබාදෙන ව්‍යායාම කොන්දේ මාංශ පේශිවලට ඉතාම ප්‍රයෝජනවත්.
හිතුමතේ වේදනා නාශක ගැනීම සුදුසු නෑ
කොන්දේ කැක්කුමක් හටගත්විට බොහෝ දෙනෙක් වෛද්‍ය උපදෙස් වලින් තොරව පැරසිටමෝල්, ඩික්ලොපැනක් වැනි වේදනා නාශක ඖෂධ ගැනීමට පුරුදු වී සිටිනවා. එයින් සිදුවන්නේ තාවකාලිකව රෝගය යටපත්වීම පමණයි. එහිදී වෛද්‍යවරයාට රෝගය හඳුනාගැනීම අපහසු වෙනවා. නියමිත රෝග ලක්ෂණ පෙන්නුම් කරන විට වෛද්‍යවරයාට රෝගය හඳුනා ගැනීම පහසුයි. එනිසා වෛද්‍ය උපදෙස්වලින් තොරව වේදනානාශක ගැනීම සුදුසු වන්නේ නෑ. එසේම වේදනානාශක ගැනීමෙන් සහනයක් දැනෙන විට රෝගය උත්සන්න වනතෙක්ම රෝගියා වෛද්‍යවරයකු හමුවට යන්නේ නෑ. එය රෝගය බරපතල වීමට හේතුවක්.