Life
හෘදයාබාධයක් නොවන පපුව සිරවන රෝග තත්ත්වය
සිරුරේ ඉහළ පපුව ප්‍රදේශයේ ඇතිවන සිරවීමේ ගතියක්, හුස්ම ගැනීමේ
අපහසුවක්, වේදනාවක් හෝ දැවිල්ලක් ඇතිවූ වහාම අපට සිතෙහි ඇතිවන සැකය
වනුයේ එය හෘදයාබාධයක් ද යන්නයි. නිසැකවම ඉහත දැක්වූ රෝග ලක්ෂණ
හෘදයාබාධයක ලක්ෂණ වියහැකිය. නමුත් හෘදයාබාධ නොවන වෙනත් රෝග තත්ත්වයන්
නිසාද මෙවන් රෝග ලක්ෂණ ඇති විය හැකි නිසා මෙම ලිපියෙන් එවන් අවස්ථාවන්
කිහිපයක් පිළිබඳව තොරතුරු බිඳක් ගෙන එනු ලැබේ. පපු කුහරය තුළ හෘදයට අමතරව
පෙනහලු සහ ගලනාලය අඩංගුවන අතර මහා ප්‍රාචිරය මගින් උරස් කුහරය, උදර
කුහරයෙන් වෙන්කරනු ලබයි. උරස් කුහරයේ කුහර බිත්තිය සැදී ඇත්තේ කො» ඇටපෙළට
සම්බන්ධ පර්ශු යුගල් 12 ක් සහ ඒ වටා බැඳුනු මාංශ පේශි මගිනි. එබැවින් එම
අවයවයන්හි ඇතිවන රෝග තත්ත්වයන් ද ඉහත රෝග ලක්ෂණ ලබාදීමට හේතු කාරක විය
හැකිය.
අප බොහෝ දෙනා දන්නා ඇදුම (Asthma) රෝග තත්ත්වය මෙලෙසින්
හුස්ම ගැනීම අපහසු කරවන රෝග තත්ත්වයකි. මෙහිදී ශ්වසන පටකයන් හි
ප්‍රත්‍යාස්ථතාව ගිලිහී යැම නිසා හුස්ම පිටකිරීමට අපහසුතාවයක් ඇතිකරයි.
එවිට ශ්වසන පටක තුළ සෙම එකතුවීම නිසා කැස්ස සහ ශ්වසනයේදී රාං රූං ශබ්දයක්
ඇතිවෙනවා. නිසි ඔසු නියමිත පරිදි අඛන්ඩව නොගතහොත් මෙය කාලික ස්වසන මාර්ග
අවහිරතා රෝග තත්වය (Chronic obstructive pulmonary disease) බවට පත්වීමේ
හැකියාව තිබේ. එවිට නිරතුරුවම පවත්නා කැස්ස සමඟ ගැඹුරට හුස්ම ගැනීමේ
අපහසුතාවක් ඇතිවේ. මේ නිසා. කෙටි හුස්ම වාරයන් වේගයෙන් ගැනීමට සිදුවේ.
කලක් ගතවන විට පපු කුහරයේ ද ප්රත්යස්ථිතාව අඩුවී පපුව බැරලයක (Barrel
chest) හැඩයක් ගනී.
නියුමෝනියාව (pneumonia) අප බොහෝ දෙනා අසා ඇති
රෝග තත්ත්වයකි. මෙහිදී ද පෙනහලු තුළ දියර එකතුවීම නිසා හුස්ම ගැනීමේ
අපහසුතාවයක් ඇතිවේ. (pleural effusion) නියුමෝනියා රෝග තත්ත්වය ඇතිකරනා
රෝග කාරකයන් බොහොමයක් ඇති අතර ඉන් වයිරස සහ බැක්ටීරියා ප්රධානවේ. මෙම
රෝගකාරක ආසාදනය වීම නිසා පෙනහැල්ලේ ගර්තවල ප්‍රදාහයක් ඇතිවීම හේතුවෙන් ඒ
තුළ ශ්‍රාවයන් ඇතිවේ. එවිට හුස්ම ගැනීමට අපහසුතාවයක් මෙන්ම පපුවේ සිරවෙන
ගතියක් දැනේ. මෙම දිනවල ව්‍යාප්ත වෙමින් පවතින ඉන්ෆ්ලුවෙන්සා රෝග
තත්ත්වයේදීත් (H1N1) මෙම රෝග ලක්ෂණ දක්නට ලැබේ. එසේම ඩෙංගු රෝගයේ උත්සන්න
අවස්ථාවේත් මී උණ් (Leptospirosisි) රෝගය උත්සන්න වූ විටත් මෙම රෝග
ලක්ෂණම ඇතිවිය හැකිය. නමුත් ආසාදනයන් හේතුවෙන් ඇතිවන මෙවන් තත්ත්වයන් හීදී
බොහෝ විට ඉහත රෝග ලක්ෂණවලට අමතරව උණ ද පවතී.
දරුනු ශ්වසන රෝගයකට
අනතුරුව හෝ හදිසි අනතුරුවලට ලක්වීමෙන් පෙනහලුවලට හානි සිදුවීමෙන් අනතුරුව
නැතහොත් ලූනු හෝ දුම් හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය ආඝ්‍රාහනය නිසා මෙන්ම
මානසික රෝග සඳහා යොදා ගන්නා ඖෂධ අවභාවිතය වැනි හේතුන් මත පෙනහලු ගර්ත තුළ
රුධිරය එකතුවීම නිසා ඇතිවන වැඩිහිටි තීව්ර ශ්වසන අපහසුතාව (Adults
Respiratory Distress Syndrom) නම් රෝගය ද මෙම රෝග ලක්ෂණම වඩා තීව්ර ලෙස
ඇති කරනු ලබයි.
පෙනහලු සහ උරස් කුහරයේ බිත්තිය අතර තියෙන්නේ
රික්තමය අවකාශයකි. මෙම අවකාශයට වාතය (pneumothorax) පිරීම නිසා හුස්ම
ගැනීමේ දී පෙනහලුවලට ප්රසාරනය වීමට අපහසු වේ. අනතුරක් හේතුවෙන් උරස්
කුහරය සිදුරු වූ විට බාහිරින් වාතය උරස් කුහරයට ඇතුළුවීමෙන් හෝ පෙනහැල්ලේ
පටකතුළින්ම මෙම අවකාශයට පිරීම නිසා ආශ්වාස කරන වාතය මෙම අවකාශය තුළට ඇතුළු
විය හැකිය. මෙය ක්ෂණිකව ඇතිවන තත්ත්වයක් වන අතර අඛණ්ඩව එලෙස වාතය
පිරෙන්නේ නම් (Tension pneumothorax) ක්ෂණිකව ප්‍රතිකාර ලබාදිය යුතුය.
හදිසි අනතුරු නිසා මෙම අවකාශයට රුධිරය ඇතුළුවීම හේතුවෙන්ද ඉහත රෝග ලක්ෂණම
ඇතිවේ. (Haemothorax) තවත් බොහෝ රෝගයන් හේතුවෙන් මෙම අවකාශය තුළ දියරයන්
එකතුවීම නිසාත් හුස්ම ගැනීමේ අපහසුව සහ පපුවේ තදවීම යන රෝග ලක්ෂණ ඇතිවේ.
ක්ෂය රෝගය, පෙනහලු පිළිකා, හෘද අකරණිය, (congestive cardiac failure)
සිරෝසිස්, අග්න්‍යාශ ප්‍රදාහය, (pancreatitis) රුමටොයිඩ් ආතරයිටිස් වැනි
රෝග මෙලෙස පෙනහලු වටා දියර එකතුවිය හැකි රෝගයන් අතර වේ.
දුර
දිවීමේදී ද සමහර අයට හුස්ම ගැනීමේ ප්‍රබල අපහසුතාවයක් සමඟින් පපුවේ
වේදනාවත් ඇතිවේ. මෙහිදී සිදුවන්නේ නිරතුරුවම ක්‍රීඩා නොකරන කෙනෙක් එකවරම
සිය මාංශ පේශීන් ක්‍රියාත්මක කිරීමේදී එයට අවශ්‍ය ශක්තිය ලබාගැනීම පිණිස
ඔක්සිජන් වැඩිපුර සිරුරට ලබාගැනීම සඳහා ශ්වසන වේගය ශීඝ්‍රයෙන්
වැඩිකිරීමයි. එවිට රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණයත් ශීඝ්‍රයෙන් ඉහළ යයි.
(Hyper ventilatin) අපගේ ශ්වසන යාන්ත්‍රනය ක්‍රියාත්මක වන්නේ මොළයේ
සුසුම්නා ශීර්ෂකය තුළ ඇති, රුධිරයේ කාබන්ඩයොක්සයිඩ්වලට සංවේදී සංවේදක
උත්තේජනය වීම මගිනි. රුධිරයේ ඔක්සිජන් වැඩි වී කාබන් ඩයොක්සයිඩ් අඩුවීම
නිසා ස්වභාවිකව ඇතිකෙරෙන ශ්වසන යාන්ත්‍රනය අඩාල වේ. එවිට හුස්ම ගැනීමට
මහත් ආයාසයක් දැරීමට සිදුවන අතර සිය ජීවිතය පවා නැතිවිය හැකි බවක්
රෝගියාට දැනෙයි. බෙල්ලෙන් උඩ ආවරණය වන පරිදි සිලි සිලි මල්ලක් තුළට ඔලුව
ඔබා එය තුළට ආශ්වාස ප්රාශ්වාස කිරීම මගින් ප්රාශ්වාස වාතයම නැවත ආශ්වාස
කෙරෙන අතර වාතයේ ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩිවීම නිසා මෙම තත්ත්වය
නැවත යථා තත්ත්වයට පත්කරගත හැකිය. නමුත් මෙහිදී අනවශ්‍ය ලෙස වැඩිපුර
කාලයක් සිලි සිලි බෑගය තුළ ඔලුව දමාගෙන සිටීම නිසා හුස්ම හිරවීම හේතුවෙන්
ජීවිතයට පවා හානි පැමිණ විය හැකි බැවින් මෙම ප්‍රථමාධාරය ලබා දීමේදී
ප්‍රවේශම් විය යුතුවේ.
දිවීම වැනි කායික ව්‍යායාමයන් මගින් පමණක්
නොව මානසික ආතතිය සහ මනෝ කායික රෝගයක් ලෙසින් ද මෙම තත්ත්වය ඇතිවේ.
විශේෂයෙන් මෙම තත්ත්වය මානසික ගැටලුවලට මුහුන දෙමින් සිටින තරුණ ගැහැනු
ළමයින් තුළින් දක්නට ලැබේ.
ඉහත දැක්වූ තත්ත්වයන්ට අමතරව තවත් බොහෝ
දෙනා පෙළෙන රෝග තත්ත්වයක් වනුයේ උරහිසෙහි විවිධ ස්ථානවල වරින් වර ඇතිවන
වේදනාවන් සහ හුස්ම ගැනීමේ අපහසුතාවයන්ය. මෙහි විශේෂ ලක්ෂණය වන්නේ මෙම
වේදනාවන් නිශ්චිත ස්ථානයකින් ඇති නොවීමත් එය තැනින් තැනට ගමන් කරන
වේදනාවක් වීමයි. මෙම තත්ත්වයට ප්‍රධානම හේතුව වනුයේ මානසික ආතතියයි.
මානසික ආතතිය කලක් පැවතීමේදී මංශ පේශීන් වල තද ගතියක් ඇතිවේ.
එවිට
විශේෂයෙන්ම පපුවෙහි පාර්ශු අතර ඇති මාංශ පේශීන් ශ්වසනයේදී ඇදීමට ලක්වීම
නිසා වේදනාව ඇතිවන අතර ඒ නිසාවෙන්ම හුස්ම ගැනීමට ද අපහසු වී පපුවෙහි තද
ගතියක් ඇතිවේ. මේ සඳහා දිගුකාලීනව වේදනා නාශක භාවිතයෙන් පලක් නොවන අතර
මානසික ආතතිය දුරුකිරීමට අවශ්‍ය ඖෂධීය ප්‍රතිකාර, උපදේශනය මෙන්ම සිරුර
ඉහිල් කිරීමේ ක්‍රමවේදයන් භාවිතා කිරීමත් මගින් වඩා සාර්ථක ප්‍රතිඵල අත්කර
ගත් හැකිවනු ඇත.
වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks