Health
සීතල සුළ`ගින් ඇඟට ඇතුළුවෙන ඉන්ෆ්ලුවෙන්සා
සෑම වසරකම නොවැම්බර් දෙසැම්බර් යනු සීතල සුළං සහිත කාලගුණයක් පවතින මාස දෙකකි. මෙම කාලයේදී ශ්වසන රෝග පැතිරයැමේ අවදානමක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඉන්ෆ්ලුවෙන්සා රෝගය ද මෙලෙස පැතිර යන වසංගත රෝගයකි. එය මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල පැතිර යන්නට පටන්ගෙන ඇති බව එම රෝගයට ලක්වූ පුද්ගලයන් පිළිබඳව ලැබෙන තොරතුරු අනුව වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කරගෙන තිබේ.
ඒ අනුව ඉන්ෆ්ලුවෙන්සා "බී" රෝගය වැලඳුනු බවට සැකකරන රෝගීන් 300 කගේ පමණ රුධිර සාම්පල් වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ලැබී ඇත.
ඉන් පුද්ගලයින් 40 දෙනෙකු පමණ ඉන්ෆ්ලුවෙන්සා "බී" වෛරස ආසාදනයට ලක්ව ඇති බව තහවුරු වී තිබේ.
වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසන්නේ ඉන්ෆ්ලුවෙන්සා "බී" වෛරසය පැතිර යැමේ අවදානමක් මෙම වසරේ නොවැම්බර්, දෙසැම්බර් යන කාලවලදී මතුව ඇති බවය. එබැවින් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ ඇඟපත වේදනාව, කෑම අරුචිය වැනි රෝග ලක්ෂණ මතු වූ වහාම නිසි වෛද්‍ය පරීක්ෂාවට ලක්වන ලෙස හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටිති.
විශේෂයෙන් කුඩා දරුවන්, ගැබිනි කාන්තාවන් වයස්ගත වූවන්ට මෙම ආසාදන රෝගය ඉතා පහසුවෙන් වැලඳිය හැකිය.
මෙම මාස දෙක යනු වැඩිවශයෙන් සංචාරකයන් පැමිණෙන කාලයකි. එසේම වසර අවසාන උත්සව සමය උදාවන බැවින් ජනතාව සාප්පු සවාරිවල යෙදෙති. මෙලෙස ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල ඉන්ෆ්ලුවෙන්සා "බී" රෝගියකු සිටිය හොත් එම රෝගියාගේ කැස්ස, සෙම මගින් වෛරසය අන් අයට පැතිරයැමට හැකියාව ඇත.
කුඩා දරුවන්, ගැබිනි කාන්තාවන්, වයස්ගත පුද්ගලයන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිය යම් දුර්වල මට්ටමක පවතින නිසා ඔවුනගේ ඉතා පහසුවෙන් ඉන්ෆ්ලුවෙන්සා "බී" වෛරසය ශරීර ගත වේ.
මෙම රෝගය මාරාන්තික නොවුණත් රෝගය වැළඳීම නිසා මතුවන ඇඟපත වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා රෝගීන් දැඩි ලෙස පීඩාවට පත්වේ.
රෝගය වැලඳුන විට නිසි වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගත යුතුය. එහිදී ශීත පාන වර්ග ආහාරයට නොගැනීම, ස්නානය කිරීමෙන් වැළකී සිටීම ඇඟපත සේදීම කරන්නේ නම් උණුසුම් ජලය භාවිත කිරීම කළ යුතුය.
වෛරසය දින තුනක් පමණ ශරීරගතව පවතින බැවින් සතියක් පමණ විවේකීව සිටිය යුතුය.
තමාට ඉන්ෆ්ලුවෙන්සා "බී" වැලඳී ඇති බව වෛද්‍ය පරීක්ෂණ මත තහවුරු වුවහොත් ජනතාව ගැවසෙන ස්ථානවලින් ඈත්ව සිටීම කළ යුතුය.
පාසල් යන දරුවකුට ඉන්ෆ්ලුවෙන්සා "බී" වැලඳී ඇත්නම් රෝගය සම්පූර්ණයෙන් සුවවනතුරු පාසල් යෑවීම නොකළ යුතුය. ගැබිනි කාන්තාවකට ඉන්ෆ්ලුවෙන්සා "බී" වැලඳී ඇතිවිට වෛද්‍ය උපදෙස් මත පමණක් ඖෂධ ලබා ගැනීම කළ යුතුය. එසේ නොවුන හොත් ඇයගේ කුසේ සිටින දරුවාට ඇය ගනු ලබන ඖෂධවලින් බලපෑමක් ඇතිවිය හැකිය.
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි