iranama
සිකුරු සිටින රාශිය අනුව පලාපල
ග්‍රහ මණ්ඩලයේ මනාලිය වශයෙන් සලකනු ලබන සිකුරු පෘථිවියට එක් පැත්තකින්ද අනිත් පැත්තෙන් කුජ ද පිහිටා ඇත. සූර්යයාගෙන් අංශක 48 කට වඩා ඈත් නොවන මෙම ග්‍රහයා අලුයම් කාලයේදීත් ඉර බැසයන කාලයේදීත් අපේ පියවි ඇසට පෙනෙන අතර උදයේ දකින විට පහන්තරුව වශයෙන්ද සවස දකින විට ඉරබටු තරුව වශයෙන්ද හඳුන්වනු ලබයි. විශේෂයෙන් අවුරුද්දෙ එක කාලයක අලුයමද, තවත් කාලයක සවස් වරුවේද මෙම ග්‍රහයා අහසේ දීප්තිමත්ව පියවි ඇසට පෙනේ. මොහු සියලු ශුභ ඵලදෙන ප්රමුඛ ග්‍රහයෙකි. මනුෂ්‍යයාගේ කෞශල්‍යය, ප්‍රේමය, වාසනාව, රූප ශෝභාව, යහපත් ජීවිතය, කරුණාව, මිත්‍රත්වය, කෙළිලොල් බව, ලිංගික ජීවිතය ආදි ගුණාංග සිකුරුගෙන් ඇති වේ. තරුණ වයසට සිකුරු බලවත් වේ. සිකුරු කේන්ද්‍ර ගතවීම, ත්‍රිකෝණ ගතවීම ලග්නයේ හෝ එකොළසේ සිටීම, උච්ච ක්ෂේත්රවීම ඉතාම යහපත්ය. සිකුරු බලවත් වූ විට සැහැල්ලු රස ආහාර, අකලට මහලු නොවන තරුණ පෙනුම, ඇසීමට ප්‍රිය උපදවන වාග් චාතුර්ය ඇතිවීම, කාම භෝගී වී හැම විට සතුටින් සිටීම. භාර්යාව හෝ පුරුෂයා සමග සැපසේ වාසය කිරීම ආදී යහපත් ඵල ඇති කරයි. මෙවැනි ශුභ ඵල දෙන සිකුරු දුර්වල වීමෙන් විවාහය කරදරකාරී එකක් වීමට බොහෝ විට ඉඩ ඇත. සිකුරු කුජ සමග සිටීමෙන් දූෂිත චරිත ඇත්තෙක් වේ. සිකුරු බලවත් අයට මෙම තත්ත්වය ඇති නොවේ. කුජ, සිකුරු යෝගය විවාහය ඉක්මන් කරවීමට ග්‍රහ පිහිටීමක් ද වේ.
සිකුරු ලග්නයේ සිටීමෙන් දැකීමට ප්‍රිය මුහුණ. මනාව පිහිටි ශරීරය, ප්‍රිය කතාවක් ඇති. නිතර විනෝදයෙන් සිටින තැනැත්තෙකු වේ. සුවඳ වර්ග හා ලස්සන ඇඳුම්, පැළඳුම් ප්‍රිය කරන අතර පිරිසිදු කමද අගය කරයි. අලුත් වස්ත්‍ර ලාභ වේ. සුවපහසු යහන්වල නිදා ගැනීමට ලැබෙයි. ස්ත්‍රීන් ආශ්‍රයට පත්වී මහලු අයෙකු වුවද තරුණයෙකු මෙන් ක්‍රියා කිරීම නිසා ස්ත්රීන්ට ඉතාමත් ප්රියභාව ඇති කරයි. ලග්නය තුලා, වෘෂභ මීන යන එකක් වී ලග්නයට පැමිණි සිකුරා මාලවී යෝගයද උදාකර කලා කටයුතුවල දැඩි ප්‍රියතාවයක් ඇති කරවයි. විසිතුරු දෙය කිරීමට පෙළඹෙන නිසා අන් අයගේ ආකර්ෂණය හිමි කර ගැනීමට සමත් වෙයි.
සිකුරු දෙවැන්නේ සිටීමෙන් නිරායාසයෙන්ම ධනය ලබා දෙනු ඇත. බලයෙන්ද යුක්ත වෙයි. රජයේ හා උසස් නිලධාරීන්ගේ පැසසුමට ලක් වෙයි. ඔවුන්ගේ උපකාරයෙන් දියුණුව සැලසේ. ධන ධාන්‍ය ලාභ ඇති වන අතර හිත මිතුරන්ද වැඩි වේ. විවාහයද වාසනාවන්තය. යහපත් ඇස්, මුඛය, සුභාෂිතවචන ඇති, චරිතවත්, යහපත් කෙනෙකු වන අතර ප්‍රියජනක මුහුණක්ද ඇතිවේ. දෙවැන්නාධිපති වී සිකුරා දෙකේ හැසිරෙන විට ඔහුගේ මහ දශා අතුරු දශාවද එවකට පවතී නම් මහා ධන කුවේරයකු වන්නේ ස්ත්‍රීන් ඇසුරෙන් ලැබෙන ධනය හේතුවෙනි.
තුන් වැන්නේ සිකුරා සිටියදී උපන් අය ස්ත්රීන්ට ප්‍රිය වේ. සහෝදරයින්ගේ උපකාර ලබයි. දරුවන්ට අශුභ දායකයි. උසස් තත්ත්වයට පත්වෙන අතර පින් කිරීමට කැමති වන බැවින් යුද කෝලාහල ආදියට බිය ඇත්තෝ වෙති. බිරිඳගේ ධනය ලබයි. දීර්ඝායුෂද ලබයි. ධන ධාන්‍යයෙන් පිරි සැපවත් ජීවිතයක් ගත කිරීමට ලැබෙයි. සිකුරා දුර්වල වී සිටියොත් සහෝදරියන්ගේ, භාර්යාවගේ විපත් ඇති වේ. සහෝදරියන් හා තම බිරිඳ අතර නිතර අඬ දබර ඇති කරවයි.
සිකුරු හතර වැන්නේ සිටි විට අලුත් ගෙවල් දොරවල් හා මල්වතු උයන්වතු ක්‍රීඩා භූමි, නාට්‍ය ශාලා, සංදර්ශන පෙන්වන භූමිවල හිමියන් වීම හෝ එවන්තැන්වල වාසය කරන්නෝ වෙති. රථ වාහන හිමියෝද වන අතර නැටුම්, ගැයුම් උගන් වන ගුරුවරුන් ද වේ. සිකුරු දුර්වලව සිටිය හොත් පපුවේ රෝග, නිතර කැස්ස, ශරීරය කෘශ වීම, ගේදොර අනුන් සතුවීම, ස්ත්‍රී වියවුල් ඇතිවීම, සහෝදරයින් විරුද්ධ වීම, ඉඩ කඩම් ආරවුල් ආදිය ඇති කරයි. ස්ත්රීන්ගේ දේපළ පිළිබඳ නඩුහබ ඇතිවේ.
සිකුරු පස්වැන්නේ සිටියදී උපන් අය ආචාර්යවරුන්, ශාස්ත්රඥයින් කාව්‍ය, නාට්‍ය ආදී කලා කටයුතුවල අධ්යක්ෂවරුන්, ස්ත්‍රීන් පිළිබඳ අධික ආශා ඇති අය මන්ත්‍ර ශාස්ත්‍රය නිපුණවන්නන්, බොහෝ දූවරු ඇති අය, යස ඉසුරු ධනසම්පත් ලබන්නන් යහපත් දේ ඉගෙන එමගින් දියුණු වන්නෝ වෙති. පස්වැන්නේ සිකුරු සිටින කාලය ඉතා සැපවත් වේ. රජයෙන් හා උසස් නිලධාරීන්ගෙන් පිදුම් හා ගෞරව ලබයි. දැකීමට ප්‍රිය රූමත් ස්ත්‍රීන් ඇසුරට පත්වේ. ස්ත්‍රීන් නිසාම දියුණුව ඇති වේ.
හය වැන්නේ සිකුරු සිටි අය ඥාණයෙන් සතුරන් පරදවයි. නපුරු ගති ඇතිවේ. අධිකව දූ පුතුන් ලබන අතර ස්ත්රීන්ට ලොල්වෙයි. අධික කාම සේවනය නිසා තමාට විපත් ඇති කර ගනී. ධාතු හීන රෝග, ක්ෂයරෝග, ප්‍රමේහ රෝග, හා ඇස්වල රෝග ඇතිවේ. තම චරිතය පිළිබඳව හානිදායක ප්‍රචාර ඇතිවීමෙන් සමාජයට මුහුණ දීමට අපහසු තත්ත්වයක් ඇති වෙයි.
හත්වැන්නේ සිකුරු සිටියදී උපන් අයට අයහපත් ගති උරුම වෙයි. ස්ත්‍රීන් හා ගණිකාවන් වැනි අයගෙන් කරදර හිරිහැර ඇතිවේ. තම බිරිඳ පවා තමා ගැන සැක කිරීමෙන් ගෘහ ජීවිතයේදී නිතර අඬ දබරද ඇතිවෙයි. ගෙදර සමගිය නැතිවී අසමගිය රජවෙයි. අලු ආහාර ගැනීමට සිදු වෙන අතර නිතර රෝගී තත්ත්වයෙන් පසුවීමට හේතුවෙයි. විශේෂයෙන් ලිංගික රෝග ඇතිවිය හැක. සිකුරු මාරක ග්රහයෙකු වී හතට පැමිණීමෙන් අකල් මරණද ඇති කරවයි.
සිකුරු අට වැන්නේ සිටි විට ග්‍රහයින් හැමදෙනාම වාගේ ජන්මියාට අශුභඵල ගෙන දුන්නත් සිකුරු අටවැන්නේ සිටිය යුතු උසස්ම ග්‍රහයාය. වෙදැ දුරන්ටවත් සෙවිය නොහැකි මරණ මොවුනට සිදුවේ. වකුගඩුවේ හෝ හෘද රෝගයකින් මරණය සිදුවිය හැක. මෙහි සිකුරු යෝගව සිටීමෙන් මැණික් වාසනා ඇති වන අතර විවාහයට අශුභ ඵල දේ.
සිකුරා නම වැන්නේදී ජන්මියාව ධාර්මික පැත්තට යොමු කරවයි. තමාගේ නිවසට ශ්‍රියා කාන්තාව පැමිණියාසේ නිවසේ ශ්‍රියාව, සමගිය හා සාමදානය ඇති කරවයි. උසස් අයගේ උපහාර හා ගරු බුහුමන්ද ලබයි. ධන ධාන්‍ය ආදිය සිත්සේ ලැබීමෙන් ධනවත් උසස් දිවියක් ගත කිරීමට හැකිවෙයි.
දහවැන්නේ සිකුරු සිටියදී උපන් ජන්මියාට රජයේ රාජකාරී ලැබෙන විශේෂ පිහිටීමක් වේ. ආගිය හැම තැනකදීම පිළිගැනීම ලබයි. උසස් අයගෙන් නිරායාසයෙන්ම උදව් උපකාර ලැබෙයි. බොහෝ විට පාලක පක්ෂයේ අත්සන පමණක් යොදන උසස්
රැකියා හිමිවනු ඇත. යහපත් ගතිගුණ හා ක්‍රියා ඇත්තෙකි. මහජනයාගේ සිත් දිනාගනී.
එකොළොස් වැන්නේ සිකුරු සිටිවිට අලුත් නිවාස, යාන වාහන, යහපත් දූ දරුවන්, රූපත් ස්ත්‍රීන්ද ලබයි. ධනවත් වෙයි. උගත් පොහොසත් ස්ත්‍රීන් හා විවාහ වී ඔවුන්ගේ ධනය නිසා ප්‍රසිද්ධියද ලබයි. සිකුරු දුර්වලව සිටියොත් ස්ත්‍රීන් නිසා ආරවුල් ඇතිවේ. කරන සියලු කටයුතුවලින් සල්ලාලකම නිසා පාඩු ලබයි. දූ දරුවන්ටද අයහපත් ප්‍රතිඵල උදා කරවයි.
දොළොස් වැන්නේ සිකුරු සිටියදී වස්තු ලාභ, ගේදොර, වතු පිටි ආදිය ලබයි. ත්‍යාගශීලී වෙයි. අන්සතු ධනයටද හිමිකම් ලබන අතර වස්ත්‍ර රන් රිදී මුතු මැණික් ආදිය ලැබීමටද හේතු වෙයි. මිතුරන් ඇසුරින් ධනයද ලැබෙයි. ඔවුන්ගේ උපකාරය දියුණුවටද හේතුවක් වෙයි. පාප පීඩිතව හෝ පාප සංයෝග ඇතිව සිකුරු සිටීමෙන් මවට මරණය හෝ තදබල ලෙඩදුක්ද ඇති කරවයි. අශුභව සිටියොත් ස්ත්‍රීන් නිසා ධන හානි වේ. මිතුරන් වෛරවීම, නිසා ගුණ ධර්ම පිරිහීමෙන් චෝදනාවලට ලක්වෙයි. ඇස්වල රෝග, පාදවල ආබාධ ද ඇති විය හැක.
Wmqgd .ekSu