Beauty
ස්වාභාවික ලස්සන තරම් දෙයක් තියෙනවා ද
සම පැහැපත්කර රුව ලස්සන කරගත හැකි රූපලාවණ්‍ය සත්කාර නම් බොහෝමයක් තිබෙනවා. ඒ අතරින් ෆේෂල් කිරීම විශේෂයි. ඒත් දැන් එම සත්කාර පිළිබඳ සෑහීමකට පත් නොවී කෘත්‍රිමව සම සුදුකර ගන්න ඉන්ජෙක්ෂන් පසුපස ශල්‍යකර්ම පසුපස යන අය වැඩිවෙලා. ඇත්තටම මේ සුදුවීම කියන දෙය අලුතින් රූපලාවණ්‍යයට එකතුවුණ විසබීජයක් බවට පත්වෙලා.
කාන්තාවන් මෙයට ඇබ්බැහි වී සිටින තරම කොතෙක්ද කියනවා නම් අද රූපලාවණ්‍යාගාරවලට පවා ගොස් විමසන්නේ සුදුවීමේ ක්‍රම ගැනයි. සුදුවීමට අවශ්‍ය නම් ස්වාභාවික සත්කාර තිබෙනවා. මේ දේවල් අහිතකර නෑ. අතුරු ආබාධත් නෑ. ඒත් අපේ කාන්තාවන්ට අවශ්‍ය ඉක්මන් ප්රතිඵලයි. සෑම කාන්තාවක්ම සෑම යුවතියක්ම කැමැති තමන්ගේ රුව හැමදාමත් ලස්සනට තියාගන්නයි. නමුත් වයසට යාම අපට වළක්වන්නට බෑ. එසේ වුවත් වයසට යාමේ ස්වාභාවය පෙනුම, අපට රූපලාවණ්‍ය සත්කාරවලින් යම් තරමකට මැඩ පවත්වා ගන්න පුළුවන්.
ලස්සන කියන්නේ සම සුදුවීමට ද ලස්සන වෙන්න සුදු වෙන්නම ඕනෙද? නැහැ. අප ලස්සන ලෙස දකින්නේ සුදුවීම නොවෙයි. සමේ පැහැපත් ස්වාභාවය, පිරිසුදුකම, හැසිරීම, කතා විලාශය, ඇඳුම පැලඳුම, ගුණයහපත් බව මේ හැම දෙයක්ම ලස්සන හා බැඳිලා තියෙනවා.
එදාට වඩා අද තාක්ෂණය අතින් ඉතා දියුණුයි. මේ නිසා ලෝකයේ තිබෙන සියලු දේ ගැන නවතම දේ ගැන අපට මොහොතින් දැනුවත් වීමේ හැකියාව තිබෙනවා. නමුත් මේ හැම දෙයක්ම මේ දේවල් අපට ගැළපෙන නො ගැළපෙන බව තෝරාගෙන කටයුතු කිරීමට ඇති නොතේරුම්කම නිසයි අද බොහෝ දෙනෙක් නොයෙක් ව්‍යසනවලට ගොදුරුවන්නේ. අවසානයේදී තමන්ගේ ජීවිතවලින් පවා වන්දි ගෙවීමට මේ අයට සිදුවෙනවා.
සුදුවීමට ඇති අධික කැමැත්ත නිසාම සම සුදුකර ගන්න විරංජන කිරීම (බ්ලීචින්), ඉන්ජෙක්ෂන්, පෙති වර්ග භාවිතය, ප්‍රමිතියක් වගකීමක් නැති ආලේපන (නයිට් ක්‍රීම් වැනි) භාවිතය නිසා අද කාන්තාවන් තරුණියන් හැමෝම අපහසුතාවට පත්වෙලා. ඔවුන් මායාවකට හසුවෙලා මේ ආකාරයේ නොයෙකුත් දේවල්, වැරැදි ආලේපන බෙහෙත් වර්ග නිසා කලක් යනවිට තමන්ගේ තිබුණ ස්වාභාවික ලස්සනත් නැතිවී අකලට සම මහලුවීමක් ලප කැළැල් ඇතිවීම, සම එල්ලා වැටීම, රැලි වැටීම, සුදුමැලිවීම වැනි ප්‍රශ්නවලට මුහුණපෑමට සිදුවිය හැකියි. මෙහි සැබෑම තත්ත්වය පැහැදිලි කරනවා නම් කලක් යනවිට තමන්ගේ වයසටත් වඩා මහලු තත්ත්වයට පත්වන්නට පුළුවන්. හොඳම දේ තමන්ගේ වයසට, සමට, තමා ජීවත්වන දේශගුණික තත්ත්වයට පිළිගත් හොඳ තත්ත්වයේ තිබෙන රූපලාවණ්‍ය ආලේපන පාවිච්චි කිරීමයි.
ඒ වගේම අද නොයෙකුත් රූපලාවණ්‍ය ආලේපන තිබෙනවා. මෙම ආලේපන තෝරා ගැනීමේදී පාවිච්චියේ දී හිතුමතේ භාවිත කරන්නට සමහරුන් පෙලඹෙනවා. සමහරවිට එය තමාගේ සමට ගැළපෙන හෝ නො ගැළපෙන බව නොතකා පාවිච්චි කරන අය ද සිටිනවා. එසේ කිරීමෙන් ආලේපනවලින් තමන් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබන්නට බැහැ.
අනෙක් කරුණ නම් නො ගැළපෙන ආලේපන නිසා අසාත්මිකතා වැනි විවිධ ගැටලු මතුවිය හැකියි. මේ නිසා රූපලාවණ්‍ය ආලේපන මිලදී ගන්නා විට පිළිගත් වෙළෙඳ නාමයක් ඇති දේශගුණික තත්ත්වයට ගැළපෙන තමාගේ සම අනුව උචිත ආලේපන තෝරා ගන්න. වඩාත් සුදුසුම ක්‍රමය වන්නේ තමාට ගැළපෙන ආලේපන කුමක්ද යන්න රූපලාවණ්‍ය ශිල්පීන්ගෙන් දැන විමසා ඒ අනුව භාවිත කිරීමයි.
ආලේපනවලට පමණක් අපේ රුව ලස්සන රැක දෙන්නට බැරි බව මතක තබාගන්න. සමබල ආහාර වේලක් ගන්නට උනන්දු වෙන්න. නැවුම් එළවළු, පලතුරු, පලා වර්ග ආහාරයට එක් කරගන්න. ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න. නිතර සම පිරිසුදුව තබාගන්න. මනස සැහැල්ලුවෙන් තබාගන්න. යහපත් සිතිවිලි ඇතිකර ගන්න. එවිට සම පැහැපත් වෙන්න, සුදුවෙන්න ඔබට අමුතුවෙන් දේවල් කිරීමට අවශ්‍ය නොවේවි. ස්වාභාවිකවම ඔබට ලස්සන පැහැපත් සමක් හිමිවේවි.
(under the courtesy of goodhousekeeping.lk web)