ගැබ දරන්නී ස්ත්‍රිය නම් වේ. ඒ හෙයින් මිනිසුන්ගේ බලය ස්ත්‍රිය වේ. ස්ත්‍රියකගේ යෝනිය ඇසුරු කරගෙන හටගන්නා රෝගයන්ගෙන් විනාශය සිදුවේ.
එහෙයින් යෝනි ව්‍යාධිය පිළිබඳ උත්පත්තිය රෝග ලක්ෂණ හා පිළියම් පිළිබඳව ප්‍රජාවට අනුකම්පාවෙන් අසමි යනුවෙන් අග්නිවේෂ කුමාරයා විසින් පුනර්වායු ආත්රයාගෙන්
(සෘෂීගෙන්) ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් ස්ත්‍රී රෝග අධ්‍යයක් (විෂයයක්) වශයෙන් බිහි වූ බව ආයුර්වේදයේ පුරාණ ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ අනුව ආයුර්වේද විද්‍යාව බොහෝ අතීතයේදී පටන්ම ස්ත්රීන්ටම ආවේනික වූ රෝගාබාධ පිළිබඳව සැලකිලිමත් වී ඇති බවත් ඒ වෙනුවෙන් විශේෂ අවධානය යොමුකර ඇති බවත් පැහැදිලියි.
අප රටෙහි බහුතරයක් කාන්තාවන් ගත කරන සමාජයීය ජීවිතයත් ඊට හේතු පාදක වුණු සංස්කෘතික පසුබිමත් හේතුවෙන් ඔවුන්ටම ආවේනික වුණු විශේෂිත වූ අවේනික ස්ත්‍රී රෝග පිළිබඳව විවෘතව කතා කරනු දැකිය නොහැකියි. සමහර කාන්තාවන් ස්ත්‍රී රෝග තත්ත්වයක් තමා තුළ තිබියදීත් ඒවා යටපත් කරගෙන සිටිනවා. තම රෝගි තත්ත්වය කිසිවකුට කියාගත නොහැකිව සමහර කාන්තාවන් මානසික පීඩාවට පත්වන අවස්ථාවන් ද තිබෙනවා. වෙනතක් තබා වෛද්‍යවරියක හමුවේදී පවා නිවැරදි රෝග ලක්ෂණ පැවසීමට අදි මදි කරන කාන්තාවන් ද සිටිනවා. එවිට රෝගියා කතා කරවීම වෛද්‍යවරයා සතු කාර්යයක්. තමා වෙත පැමිණෙන රෝගියාගේ බිය සැක දුරුකොට ඇය කතා කිරීමට පොළඹවා ගැනීම මෙන්ම රෝගියා පවසන සමහර සුළු කරුණු පිළිබඳව ද අවධානය යොමු කිරීම කළ යුතු වෙනවා. එමෙන්ම රෝගියාගේ පෞද්ගලිකත්වය ආරක්ෂාකළ යුතු අතර කාන්තාවක් පරීක්ෂා කිරීමේදී එය වඩා විශේෂ අවධානයකින් යුක්තව සිදු කළ යුතුයි. වෛද්‍යවරයා පිළිබඳව තමා තුළ විශ්වාසයක් පැහැදීමක් ඇතිවුණු මොහොතේදී කාන්තාවන් ඉතා ඕනාකමින් රෝග විස්තරය සමඟ තම දුක් වේදනාව වක්කඩ කැඩුවා සේ පිටකර හරිනවා. එවන් වූ රෝගීන්ට සවන් දෙන්නට වෛද්‍යවරයාට කාලය තිබිය යුතුයි. නැතිනම් එසේ කාලය තිබෙන වෛද්‍යවරයා සොයා යන්නට රෝගියා දැන ගත යුතුයි. නිරෝගි බව තමන්ටයි. තීරණය ගත යුත්තේ තමා විසින්මයි.
“...යටි බඩ රිදෙනවා. වේදනාව තියෙනවා. මුත්‍රා දැවිල්ල වගේ දැනෙනවා. ඒත් වෙලාවකට එහෙමත් නෑ. යෝනිය පැත්ත කකියනවා. නිතරම තෙත් වෙනවා. සමහර වෙලාවට ඇඟට පණ නැහැ. ඇඟ පත වේදානවයි. ඔළුව කැක්කුමක් හැදෙනවා. ඇඟේ ලේ අඩුවෙලාද කියලත් හිතෙනවා. කලන්තෙ වගේ දැනෙනවා. නිදිමතත් එනවා. ඔබ රෝග ලක්ෂණ කියාගෙන කියාගෙන යනවා. මං ඒකට තව ටිකක් එකතු කරනවා. ඔබට හුස්ම ගැනීමේ අපහසු බව හා පපුවේ ගැස්ම දැනෙනවා නම්, ඇසිපිය වටේ අඳුරු ස්වභාවය පවතිනවා නම්, ඇඟ පත සුදුමැලිවී තිබේනම්, යෝනිය අසල පැහැය වෙනස්වීම හා ඉදිමුම සමඟ රතු ලප ඇතිවීම තිබේනම්, යටිබඩ බරට දැනීම හා මුතා දැමීමේදී වේදනාව දැනෙයි නම්, නිතරම ඈනුම් යාම කම්මැලි බව දැනෙයි නම් කෙල සිදුනාක් මෙන් මුඛයේ වියළි ස්වභාවය පවතින්නේ නම් ඔබට ශ්වේත ප්‍රදරය හෙවත් සෝම රෝගය හෙවත් බඩ පැසවා යාම හෙවත් සුදයාමේ රෝගය සෑදී තිබෙනවා. අපේ අත්තම්මලාගෙ කාලයේ පොරෝ දියර වැගිරීම කියලා කිව්වෙත් මේකටම තමයි.
යම්කිසි දිනක කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් සුදුපාට දුගඳ රහිත ශීතල වු ස්‍රාවයක් පිටවීම හා එය අසාමාන්‍ය ලෙස පිටවීම මෙහිදී සිදුවෙනවා. රෝගය පරණවීමෙන් එකී දියරය කහ හෝ දුඹුරු පැහැයක් ගන්නා අතර මඳක් ඝන වූ ස්වභාවයක් ද ඇතිවෙනවා. මේ උපද්‍රවය ඇති වූ විට එයට මුත්රාතිසාරය කියා හෝ ඖපසර්ගික මෙහෙය හෙවත් සුද බින්දුම කියා හෝ වරදවා ප්‍රතිකාර කරනවා. එබැවින් රෝගය හටගැනීමට හේතු මනා සේ පරීක්ෂාකර ප්‍රතිකාර කිරීම කළ යුතු වෙනවා.
සාමාන්‍ය වශයෙන් සිදුවන සුදයාමේදී පිටවන ස්රාවය ද එක් එක් කාන්තාව අනුව වෙනස් වෙනවා. ඩිම්බ මෝචනය කාලයේදී, ආර්තවයට පෙර කාලයේදී, ලිංගික සංසර්ග අවස්ථාවේදී සහ ගර්භණි සමයේදී මෙම ස්රාවයේ පිටවීමේ වැඩිවීමක් දැකිය හැකියි.
මේ හැර යෝනි මාර්ගයෙන් පිටවන ස්රාවය ඇඳුම්වල තැවරෙන ආකාරයට වැඩි වැඩියෙන් ගලා ඒම අසාමාන්‍ය සුදයාමේ තත්ත්වයක්. මේ සඳහා බැක්ටීරියා වෛරස දිලීර පරපෝෂිත ආසාදන මෙන්ම, ගර්භාෂයේ පිළිකාමය තත්ත්වයන් ද උදරයේ පහළ කොටසේ සිදුකළ ශල්‍යකර්ම ද උදර ප්‍රදේශයට සිදුකළ විකිරණ ප්‍රතිකාර ද මහාන්ත්‍රයේ හෝ මුත්‍රවාහිනී පද්ධතියේ අසාමාන්‍ය විවෘතවීම් ද යන හේතූන් එකක් හෝ කිහිපයක් බලපෑ හැකියි. මෙම හේතූන් නිසාවෙන් යෝනි ස්රාවය අධිකව පිටවීමට අමතරව ඒ සමඟ සමහරවිට රුධිරය පිටවීම ද සිදුවිය හැකියි.
යම් යම් ආසාදන හේතුවෙන් සිදුවන සුදයාමේදී ඊට හේතුවන ආසාදන තත්ත්වය අනුව යෝනි මාර්ගයෙන් පිටවන ස්රාවයේ වර්ණය හා එහි ස්වභාවය වෙනස්වීම දැකගත හැකියි. ගොනෝරියා නම් සමාජ රෝගය ඇතිකරන නිසිරියා කොනොරියේ බැක්ටීරියාව හෝ ක්ලැමිඩියා ට්රැකොමටිස් බැක්ටීරියාවෙන් හෝ බැක්ටීරියල් වැන්ගිනෝසිස් නම් බැක්ටීරියාවන් මඟින් ඇතිවන ආසාදන තත්ත්වයේදී ඉතා කිලිටි පැහැයෙන් යුතු ඉතාම දුඟද ස්‍රාවයක් පිටවෙනවා. කැන්ඩිලා අල්බිකාන්ස් නම් දිලීර ආසාදනයේදී සුදු පැහැයෙන් යුක්තව යෝනි ස්‍රාව පිටවන අතර එහිදී කැසීමක් සහිතව යෝනි ස්රාවය පිටවෙනවා. ට්රයිකොමොනාස් වැජිනාලිස් නම් පරපෝෂිත ජීව ආසාදනයේදී කොළ පැහැයට හුරු දුඟද හමන ස්‍රාවයක් පිටවෙනවා. හර්පීස් ගෙනිටාලිස් නම් වෛරස ආසාදනයේදී යෝනි ප්‍රදේශය තුවාල වීමද, තුවාල සුවවීමෙන් පසු නැවත නැවත තුවාල තත්ත්වය මතුවීමද දැකගත හැකියි. මීට අමතරව උපත් පාලන උපක්‍රම භාවිතයේදී යෝනි මාර්ගයට ඇතුළුවන සමහර ද්‍රව්‍යයන් හේතුවෙන් ද පිටවන ස්රාවයේ වැඩිවීමක් දැකිය හැකියි.
ශ්වේත ප්‍රදරය හෙවත් සෝම රෝගය හෙවත් සුදයාමේ රෝග විවාහකවු හෝ අවිවාහක හෝ ස්ත්‍රීන්හට සෑදෙන රෝගයක්.
ඉතා ළාබාල අවදියේ විවාහවීම, සෘතු කාලයේදී සංසර්ගයේ යෙදීම, බලවත් අකැමැත්තෙන් සංසර්ගයේ යෙදීම, ගබ්සාවීම සිදුවීම ආදිය මෙන්ම නිතර නිතර යෝනිය නොසෝදා අපිරිසිදුව තබා ගැනීම, අධික ලෙස වෙහෙසවීම, අධික ශෝකය දරා සිටීම හා ගර්භාෂයේ වෙනස් වූ තත්ත්ව පැවතීම ආදිය මේ සඳහා අඩු වැඩි වශයෙන් බලපාන හේතු වශයෙන් සඳහන් කළ හැකියි. තරුණ වයසේදී කාන්තාවකට මෙම රෝගය සෑදීම හේතුවෙන් ශරීරය කෘෂවීම සහ අවසානයේ ඇයව හඳුනාගත නොහැකි ආකාරයට වෙනස්වීම ද සිදුවෙනවා. වයසක කාන්තාවකට රෝගය සෑදුනුවිට එය දරුණු රෝගයක් වශයෙන් සලකනවා.
සෝම රෝගය ඇති කාන්තාවක සමග සංසර්ගයේ යෙදීම හේතුවෙන් පුරුෂයින්ට කිසිදු රෝග තත්ත්වයක් ඇති නොවන බව කිව යුතුයි. රෝගය සඳහා ප්‍රතිකාර නොකර සිටීම හේතුවෙන් කලක් යනවිට කාන්තාවගේ බොහෝ දුර්වලකම් ඇතිවෙනවා.
නහර දුර්වලවීම, සිහිමූර්ඡාවීම, ශරීර දාහය ඉහළයාම, ක්ෂය රෝගය හා ගැබ් නොපිහිටීම හෙවත් වඳ භාවයද ඇතිවිය හැකියි. එබැවින් තමාට සුදයාමේ රෝග ලක්ෂණ ඇති බව දැනගත් වහාම එය නොසඟවා සුදුසු ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි. සාමාන්‍ය වශයෙන් සිදුවන සුදයාමේ තත්ත්වයේදි යෝනි ප්‍රදේශය පිරිසුදුව තබා ගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතුයි. කපු රෙදිවලින් සෑදූ යට ඇඳුම් වඩා උචිත වන අතර යට ඇඳුම් සෝදාගත් පසුව තද අව්වේ වේලා ගැනීමට පුරුදු විය යුතුයි. උපත් පාලන උපක්‍රම ලෙස යෝනි මාර්ගයට ඇතුළත් කරන ලද ලුප ආදිය තිබේනම් වහාම ඒවා ඉවත්කර ගැනීමට කටයුතු කළ යුතුයි.
ඔබගේ යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ලෙස ස්රාවය පිටවීම සිදුවෙයි නම් ඊට සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ඔබ ඉක්මන් විය යුතුයි. ඔබව පරීක්ෂා කරන ආයුර්වේද වෛද්‍යවරයා ඔබගේ රෝග ඉතිහාසය හා රෝග ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වනු ඇත. යෝනි ස්රාවයේ ස්වභාවය, එහි වර්ණය, වේදනාව දැනෙන ආකාරය පිළිබඳව විමසනු ඇත. යෝනි ස්රාවයේ ගතිලක්ෂණ හා ඔබගේ ශාරීරික පීඩාවන් අනුව හා ඔබගේ ක්‍රියාකාරකම් අනුව රෝග නිමිත්ත තීරණය කරනු ලබන ආයුර්වේද වෛද්‍යවරයා ඔබ වෙනුවෙන් වෙනමම සාදන ලද ඖෂධ වර්ග ලබාදෙනු ඇත.
ස්වභාවික ශාකසාර ඖෂධ මගින් ප්‍රතිකාර ලබන බැවින් එය කිසිදු විටෙක ශරීරයට අපහසුතා ඇති නොකරයි.
කිසිදු පසු ආබාධ තත්ත්ව ඇති නොකරයි. ඔබට කරදරයක් වුනු සුද යාම ස්ථිරවම සුවකරගත හැකිවනු ඇත. ඔබත් විශ්වාසයෙන් යුතුව සුදුසු ආයුර්වේද ප්‍රතිකාර මඟින් නිරෝගී සුවය ලබාගන්න.
curtesy : tharunie.lk