Life
වැරදි ඉරියව් හා රෝගාබාධ නිසා ඇතිවෙන කොන්දේ වේදනාව
කොන්දේ කැක්කුම් පිළිබඳව කතා කරන කොට හඳුනා ගැනීමේ පහසුව සහ විස්තර කිරීමේ පහසුව වෙනුවෙන් එය කෙටිකාලීන කොන්දේ කැක්කුම් (Acute back pain) සහ දීර්ඝකාලීන කොන්දේ කැක්කුම් (Cronic back pain) ලෙස වර්ග කෙරෙනවා.
මාසයකට වඩා අඩු කාලයක් පවතින කොන්දේ කැක්කුම් කෙටි කාලීන කොන්දේ කැක්කුම් ලෙස සැලකෙන අතර බොහෝ විට මාස තුනකට වැඩි කාලයක් පවතින කොන්දේ කැක්කුම් දීර්ඝකාලීන කොන්දේ කැක්කුම් ලෙසයි සැලකෙන්නේ.
ඊට අමතරව ශරීරයට නුහුරු ක්‍රියාවක් නිසා ඇතිවන කොන්දේ අමාරු (Mechanical Back Pain) සහ එසේ නොවන කොන්දේ අමාරු(Non Mechanical Back Pain) ලෙස කොන්දේ අමාරු වර්ග කෙරෙනවා.
කොන්දේ වේදනාව නිසා වැඩි වශයෙන් අපහසුතාවට පත් වන්නේ කාන්තාවන්. එදිනෙදා වැඩ කටයුතු අඩපණ වෙන තරමට අප අඩපණ කරන කොන්දෙ අමාරු මෙතරම් බහුල ඇයි? අද මේ ලිපියෙන් ඔබව දැනුම්වත් කෙරෙන්නේ ඒ පිළිබඳවයි.
තරබාරු අයට වැළඳෙන කොන්දේ කැක්කුම
ප්‍රධානතම හේතුව උසට සරිලන බරක් නොතිබීම හා ඒ තරබාරුකම නිසා සිරුරේ හැඩය වෙනස්වීමයි. සාමාන්‍යයෙන් අඩි පහක් උස පිරිමියකුගේ බර රාත්තල් 110 ක් විය යුතු අතර කාන්තාවකගේ නම් බර රාත්තල් 100 ක් විය යුතුයි. ඊට අමතරව සෑම අඟල් පහකටම බර රාත්තල් පහ බැගින් වැඩිවිය යුතුයි.
ඊට වඩා බර වැඩි වුණොත් එය කොන්දට දරා ගැනීම අපහසුයි. එවිට වේදනාවක් හට ගැනීම සාමාන්‍යයයි. කොන්දේ වේදනාවට අමතරව තරබාරු අය අතර හන්දිපත් වේදනාවත් සුලබයි. විශේෂයෙන් එවැනි අය කඳු නඟිනවා නම්, බර ඔසවනවා නම් වේදනාව වැඩිවිය හැකියි.
උසට සරිලන බර රඳවා ගන්නට ආහාර පාලනය, නිසි ව්‍යායාම සිදු කරනවා නම් ඒ අපහසුතාවෙන් පමණක් නොවෙයි, බොහෝ ලෙඩරෝගවලින් ආරක්ෂා වී සිටිය හැකියි.
ඉඳගෙන සිටින ඉරියව් වෙනස් වීම
සාමාන්‍යයෙන් පුටුවක ඉඳගන්නා කෙනෙක් කොන්ද කෙළින් තබාගෙන වාඩි විය යුතු වුවද වැඩි දෙනෙක් පුරුදුව ඉන්නේ කොන්ද ඉදිරියට හෝ පැත්තට නමා ගෙන සිටීමටයි. විශේෂයෙන් කාර්යාලවල වැඩ කරන අය, ඇඟලුම් කර්මාන්ත ශාලාවල ඇඳුම් මසන අය වැඩි වේලාවක් ගත කරන්නේ පුටුව උඩ.
ඒ අතරින් බොහෝ දෙනෙක් ඉන්නේ වැරැදි ඉරියව්වල. එසේ දීර්ඝ වෙලාවක් වැරැදි ඉරියව්වෙන් සිටීම නිසා කොන්දේ වේදනාව සුලබයි. පුටුවේ ඇන්දට හේත්තු වන සේ කොන්ද කෙළින් තබාගෙන ඉඳ ගැනීමට සහ වැඩ කිරීමට පුරුදු වීම ඉතා වැදගත්
කිසිදු රෝගයක් නොමැතිව එක්වරම හටගන්නා කොන්දේ අමාරුව
වැරැදි ලෙස බරක් එසවීමේ දී කොන්ද ඇදීයාම නිසා පේශියකට, අස්ථියකට හෝ අස්ථි බන්ධනීයකට එසේත් නැතිනම් ස්නායුවකට අනතුරක් විය හැකියි. එවිට කොන්දේ අධික වේදනාවක් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේ ම අස්ථිවල කැල්සියම් තැන්පත් වීම අඩු වීම නිසා දුර්වල වී තිබු අස්ථියක් හෝ පිළිකාමය තත්ත්වයක් නිසා දුර්වල වූ අස්ථියක් සුළු තෙරපීමකින් වුව ද බිඳී යා හැකියි. එවිට ද අධික වේදනාවක් ඇති වෙනවා. එවැනි අවස්ථාවකදී නිසි වෛද්‍යවරයකු වෙත යොමු වීමෙන් හා අදාළ පරීක්ෂණ කර ගැනීමෙන් රෝගය පිළිබඳ නිවැරැදි නිගමනයකට පැමිණ ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි.
කොන්දේ වේදනාවට හේතුවන රෝගාබාධ
සිරුරේ වෙනත් ස්ථානයක ඇතිවන රෝගාබාධ නිසා ද කොන්දේ වේදනාව ඇතිවිය හැකියි. උදාහරණ ලෙස අමාශයේ තුවාල, පිත්තාශයේ ආසාදන හා ගල්, වකුගඩු ආසාදන, මුත්‍රා ගල්, ගර්භාෂ ගත රෝග ඉන් සමහරක්. පිළිකාවක් හෝ ලියුකේමියා වැනි රුධිරගත රෝග ද කොන්දේ වේදනාව ඇති කළ හැකියි. කොඳු ඇට පෙළෙහි කැල්සියම් තැන්පත් වීම අඩුවීම හෙවත් ඔස්ටියෝපොරෝසියාව ද අධික කොන්දේ වේදනාවට හේතුවක්.
මීට අමතරව කොන්ද ආශ්රිත ඇති ඕනෑම පටකයක හට ගන්නා කැඩීමක්, බිඳීමක් හෝ ආසාදනයක් වේදනාවට බලපෑ හැකියි. උදාහරණ ලෙස කශේරුකාවන්, අන්තර් කශේරුක කාටිලේජ, අස්ථි බන්ධනි, පේශීන්, ස්නායු, අස්ථි ආදි ඕනෑම තැනක මෙම තත්ත්වයන් ඇතිවිය හැකියි. මීට අමතරව ස්නායුවලට යම් ආබාධයක් ඇතිවුවහොත් වේදනාව හට ගන්නේ ආබාධය ඇති තැන නොව ස්නායු සැපයුම අවසන් වන තැනයි. ‘සයටිකා’ නමැති රෝගී තත්ත්වය ඊට උදාහරණයක්.
කකුලේ සංවේදීතාව සපයන ‘සයටික්’ නම් ස්නායුව කොඳුඇට පෙළේ පහත කොටසේ දී තෙරපුණ විට දැනෙන වේදනාව කකුල් පිටුපස තට්ටමේ සිට විළුඹ දක්වා පැතිරී යා හැකියි. මෙහිදී රෝගය ඇත්තේ කොඳුඇට පෙළෙහි වුවද වේදනාව දැනෙන්නේ කකුලේ සහ විළුඹ ආශ්‍රිතවයි.
Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks