Life
ලුණු භාජනය ළිප ආසන්නයේ තියන්න එපා
රස ගැන කතා කරද්දී නැතුව බැරි දෙයක් වන්නේ ලුණුය. ඉස්සර වැඩිහිටියන් දියණියන්ට ඉවුම් පිහුම් ගැන විරිදුවෙන් පවා උපදෙස් දුන්නේ මෙසේය.
හොද්දට ලුණු ඇඹුල් දමන පදම ඉගෙන ගනින් දුවේ
මැද්දට පැන වැඩිහිටියන් සමඟ විහිළු කැතයි දුවේ
ලුණුවල වටිනාකම අවබෝධ වන්නේ 2011 වසර පමණ වෙද්දී ලොව පුරා ගලගණ්ඩයෙන් පෙළෙන සංඛ්‍යාව බිලියන 2ත් ඉක්මවන බව ඇසෙන විටය. ලුණු හා ගලගණ්ඩය අතර සම්බන්ධය ඇති වන්නේ ඒ රෝගයට වඩාත්ම ලාභදායී, පහසු ප්රතිකර්මය වන අයඩීන් ලබා දීමට හැකි වන්නේ ලුණු සමඟ අයඩින් මිශ්‍ර කිරීමෙන් වීම නිසාය. ඒ සඳහා දිනකට පුද්ගලයකු වෙනුවෙන් වැය වන්නේ ඇමෙරිකානු ඩොලර් 0.05ක පමණ මුදලකි.
මේ තරම් වැදගත් ලුණු පිළිබඳ විශේෂ උනන්දුවක් අපේ රටේ ඇති වුණේ 1940 දී පමණය. එයට හේතුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ හා ඌව වැනි ප්‍රදේශවල ගලගණ්ඩය පැතිරී යෑමේ අවදානමක් ඇති වීමයි. ඒ පිළිබඳ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර 1995 වන විට ශ්‍රී ලංකාව විශ්ව ලුණු අයඩීන්කරණය කිරීමේ වැඩසටහනට එක් වී එය ක්‍රියාත්මක කරන්නට පටන් ගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වාර්තාවල දැක්වේ.
පිරිමින්ට වඩා කාන්තාවන්ට ගලගණ්ඩය ඇති වීමේ ප්‍රවණතාව වැඩි බවද එහි කියැවෙයි. ලුණු සමඟ අයඩීන් අපට ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වූ පසු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් හතරෙන් තුනක් සපුරාලමින් අයඩීන් උෟනතාවයට පිළියම් යෙදීමට හැකි වූ බවද එම වාර්තාවේ සදහන් වෙයි. එහෙත් නිසි ලෙස සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ නිර්ණායකය වන්නේ නිවෙස්වල අයඩින් මිශ්‍ර ලුණු භාවිතය වර්ධනය කර ගැනීමය. ඒ නිසා 2005දී සියයට 91ක් වූ අයඩින් මිශ්‍ර ලුණු භාවිතය 2010 වන විට සියයට 68ක් දක්වා අඩු වූ බව වාර්තා සැසදීමේදී පෙනෙන්නට තිබේ.
මෙයට හේතුව වන්නට ඇත්තේ කුමක්ද? ඉස්සර අපේ නිවෙස්වල තිබුණේ දර ළිපය. ඒ ළිපට ඉහළින් දුම්මැස්සය. ළිප ළඟම ඇත්තේ සැම හොදි මාළුවම රස කරන ලුණු පොල්කට්ටය. ඒ ලුණු පොල්කට්ටේ පිටත ලුණු මල් පිපී තිබීම වාසනාවකි. පොල් කට්ට පරණ වන්නට - වන්නට ලුණු මලද වැඩි වැඩියෙන් එකතුවේ. ලුණු මලක් හැදෙන්නේ මේරූ ලුණුවල ඇති විස ද්‍රව්‍ය පොල්කට්ටෙන් පෙරී පිටතට ඒම නිසා බව ඒ කාලේ උදවියගේ මතයයි. එයින් හොදි මාළුවට පිරිසුදු ලුණු දැමීමට අවස්ථාව ලැබේ. එහෙත් අද තත්ත්වය ඊට හාත් පසින්ම වෙනස්ය. අද ලුණු පොල් කටු සොයා ගත හැක්කේ එහෙමත් ගෙදරකය. අපේ බොහෝ නිවෙස්වල ඇත්තේ ලුණු කෝප්පයක් හෝ නවීන ක්‍රමයට සැදූ ලුණු දමනා බඳුනකි. ඒවා සමහරු තුනපහ රාක්කයේ ම පිළිවෙළට තැබුවද තවෙකකු එය ළිප ළඟම තබන්නේ පහසුව තකාය.
අද කාලේ අයඩින් මිශ්‍රිත ලුණු මෙසේ ළිප ළඟ තැබීම කෙතරම් නුවණට හුරුදැයි ගෘහණියන් සිතන්නේ නැත. ගල ගණ්ඩය පැතිරී යාමේ ප්‍රවණතාව නිසා අයඩිනීකෘත ලුණු ළිපේ රස්නයට හසු වුවහොත් එහි අයඩින් විනාශ වී යයි.
එසේම ලුණු භාජනය විවෘතව තැබීම නිසා හිරු එළියට ද එහි අඩංගු අයඩීන් අතුරුදන් වන බව මේ පිළිබඳ පර්යේෂණ කරන වෛද්‍යවරුන්ගේ මතයයි. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය සුජීවා රත්නායක මහත්මිය මේ සඳහා ගෘහණියන්ට දුන් උපදෙස වන්නේ ලුණු පැකට්ටු ගන්නා විට එහි අයඩීන් අඩංගු බව තහවුරු කරගැනීමත්, ඒ ලුනු දුඹුරු පැහැ භාජනයක ඇසිරීමත්, හොදි වර්ග පිස නිවෙන්නට හැරීමෙන් පසු ලුණු දැමීමත් අයඩීන් විනාශ නොවී පවත්වා ගැනීමේ ක්‍රම බවටයි.
ගැහැනු පිරිමි භේදයකින් තොරව සාමාන්‍ය නිරෝගී පුද්ගලයකුගේ සිරුරට දිනකට අවශ්‍ය අයඩින් ප්‍රමාණය ලෙස එක්සත් ජනපද ආහාර හා ඖෂධ පාලන ආයතනය පවසන්නේ මයික්‍රො ග්‍රෑම් 150කි. එනම් මිලි ග්‍රෑම් 0.15කි. තයිරොක්සීන් හා ට්රයිඅයඩොතයිරොනීන් හෝමෝන නිපදවීමට මේ සුළු අයඩීන් ප්ර්රමාණය වැදගත් වේ. තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන විසමතා නිසා දරුවන්ගේ බුද්ධි මට්ටමේ සහ වර්ධනයේ ගැටලු ඇති වන බව කවුරුත් දන්නා කරුණකි. නිරෝගී පුද්ගලයකුගේ මූත්‍රවල අයඩීන් ලීටරයට මයික්‍රො ග්‍රෑම් 100-200ක් පමණද, ගර්භණී අවදියේදී එය ලීටරයට මයික්රොග්රෑම් 250ක් පමණද විය යුතු මුත් මේ තරම් වටින අයඩීන් මයික්රොග්රෑම් 300ට වඩා මූත්‍රවල තිබුණ හොත් එය විසක් ලෙසද සැලකේ.
කෙසේ වෙතත් අපේ සිරුරට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් වන අයඩීන් භාවිතය නිවෙස්වල අඩු වී ඇතැයි වාර්තා වන්නේ අප ලුණු භාජනය ළිප ළඟ තබන නිසාද? ලුණුවලට නියමිත අයඩින් ප්‍රමාණය එක් නොවන නිසාද යන්න බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු කරුණකි.
Wmqgd .ekSu is