Life
රුධිර පීඩනය-දියවැඩියාව නසන මයිල මල් තැම්බූ වතුර
අප හැමදාමත් කතා කළේ රෝග වැලඳුණාට පසු ප්‍රතිකාර කරනවාට වඩා ලෙඩ දුක්වලින් වැළකී සිටින්නේ කෙසේද යන්න ගැනයි. එහිදී බොහෝ විට සිදුකරනු ලැබුයේ අවට පරිසරයේ ඇති බොහෝ ශාක විවිධාකාරයෙන් ප්‍රයෝජන ගැනීමයි. එනම් ආහාර ලෙස, පානයක් ලෙස, එදිනෙදා පරිභෝජන භාණ්ඩයක් ලෙස ආදී වශයෙන් යොදා ගනිමින් විවිධ ලෙඩ රෝගවලින් මිදීමට ගම්මු දැන සිටියහ. අතීතයේ අපේ මුතුන්මිත්තන්ට අද මෙන් බහුවිධ රෝග නොතිබුණත් පරිසරයේ විවිධ හේතූන් නිසා හැදෙන රෝග සමනය කර ගැනීමට ඔවුහු පරිසරයේ තිබුණු බොහෝ දෑ භාවිත කළහ. එසේ යොදා ගන්නා ලද ශාක අතර ඖෂධයක් මෙන්ම ආහාරමය වටිනාකමක් ඇති ශාකයකි මයිල.
මයිල ගස සාමාන්‍යයෙන් වියළි කලාපීය ශාකයකි. උද්භිද විද්‍යාත්මකව Bauhinia rocemasa ලෙස හැඳින්වෙන මෙම ශාකයට නෑකම් කියන තවත් ශාක කිහිපයක් ඇත. කොබෝලීලා කිවිතන් වර්ග ආදිය එසේ නෑකම් කියන ශාක වේ. ආයුර්වේදයේදී ශ්වේත කාංචන ලෙසින්ද හැඳින්වේ. ලංකාවේ විශේෂයෙන් වියළි කාලගුණයක් සහිත ප්‍රදේශවල බහුලව දක්නට හැකි වේ. මෙහි පත්‍ර ආහාරයට ගැනීමට හස්තීහු ද රුචිකත්වයක් දක්වති.
මෙවැනි ශාක අත්හැර දැමුවද ලෝකයේ බොහෝ විද්‍යාඥයෝ විවිධ රෝග සඳහා ඖෂධ සොයා ගැනීමට පර්යේෂණය කරති. අපගේ සාම්ප්‍රදායික දැනුම වස්තුබිජ කොටගෙන බොහෝ විට නව සොයා ගැනීම්වලට පෙලඹෙති. නමුත් මෙම ශාක ආශ්‍රිතව ඇති පාරම්පරික දැනුම වටහාගෙන එය භාවිතවේ යෙදවීමෙන් එම දැනුම මෙන්ම ශාක ද යම් අයුරකින් ආරක්ෂා කර ගැනීමට අපට හැකි වෙයි.
මයිල ගස හුදු ආයුර්වේද වෛද්‍ය ක්රමයකටත් වඩා අපගේ දේශීය චිකිත්සාවේදී භාවිත කෙරුණු ශාකයකි. ඖෂධයක් වශයෙන් පමණක් නොව ආහාරයක් වශයෙන්ද ජනයා එය භාවිත කර ඇත. වියළි කාලගුණයකදීත් බොහෝ විට දලුලන ශාකයක් වන මයිල ශාකයෙන් වියළි කලාපීය ජනයා තම ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමටද අමතක නොකළහ. විශේෂයෙන් මයිල ගසේ ළපටි පත්‍ර මෙන්ම ළපටි කරල් ද විවිධාකාරයෙන් ආහාරයට ගත්හ. මෙහි ළපටි කරල් ආහාරයට ගැනීමට හැකියාව ඇත. ඒවා ව්‍යංජන ලෙස සකසා ගන්නා අවස්ථාද තිබේ. ඒවා කිරි රසය. ළපටි කරල් ඇති කාලයට රිළවුන් මෙන්ම අලිද ඒවා ආහාර කොට ගැනීමට පුරුදු වී සිටිති.
අතීතයේදී අපගේ ජනතාව මැලේරියාව වැනි උණ සැදුණ විට මෙහි පත්‍ර තම්බා පානය කළහ. එමගින් හිසරුදාව සමනය කර ගැනීමට හැකි විය. එදා ගැමියාට එසේ මෙවැනි ඖෂධ අත්බෙහෙත් ආකාරයෙන් සකසා සාදා ගැනීමට දැනුම තිබිණි.
අතීසාරය, පාචනය වැනි රෝග වැලඳුණු විට මයිල කොළ පොතු තම්බා බිමෙන් සුවය ලද හැකිය. තවද අත් පා ආශ්‍රිතව ඇති තුවාල හේතු කොටගෙන ඇති වන ලේ වැගිරුම් ද මයිල කොළ පොතු තම්බා බිමෙන් සුවපත් කරගත හැකිය. අම්ල පිත්ත රෝගයේදී ඇතිවන ආමාශයික තුවාල සුව කර ගැනීම සඳහා එය මහඟු ඖෂධයකි. ලේ පිටවන අර්ශස් හෙවත් රක්ත අර්ශස් රෝගීන්ට මයිල පොතු තම්බා බිමෙන් සුවයක් ලද හැකිය.
මේ ශාකය විශේෂ වන්නේ කාන්තා රෝග සඳහාය. වර්තමානයේ ගබ්සා වීම් සුලබය. නිරන්තර ගබ්සාවීම් ඇති අයට මයිල මල්, පොතු වෛද්‍ය උපදෙස් අනුව තම්බා බිමෙන් තත්ත්වය යහපත් කරගත හැකිය. එපමණක් නොව එය කාන්තාවන්ගේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව හටගැනෙන රෝග සඳහාද සුවිශේෂ ප්‍රතිකාරයකි. එවැනි අයට මයිල ලීයෙන් සකසන ලද භාජනවල වතුර බහා හිස් බඩ පානය කිරීම සුදුසුය. එයින් ශරීරය සිසිල් වෙයි. ශරීරයේ ඇති දැවිල්ල මෙන්ම අධික ඌෂ්ණය ද පහවෙයි. උගුර ආශ්රිව හට ගන්නා රෝග සුව කර ගැනීමට ද මයිල ඉතාමත් යෝග්‍ය වේ. විශේෂයෙන් අධික ඌෂ්ණ ආහාර ගැනීමෙන් මෙන්ම සෙම් ආබාධ හේතුවෙන් ස්වර තන්තුවල ඇති වන වෙනස්කම් මයිල දලු බුලත් කොළ, කාමරංගා පොතු කොටා පොට්ටිනි බැඳ උගුර තැවීමෙන් සමනය කරගත හැකිය.
අද අපි බොහෝදෙනා ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගත කරමු. ඒ නිසා මනසට දැනෙන විඩාව දැඩිය. රත්පිත් වැනි රෝග ඇති අය මෙන්ම නිරන්තර සිහි නැතිවීම් ඇති අයට මයිල මල් තැම්බූ වතුර මහඟු ඖෂධයකි. මයිල මල් මෙන්ම මයිල කරල් හෝ මයිල ඇට වියළා ගත් චූර්ණය ද ඉතාමත් වටිනා වූ ඖෂධයකි. මස්තිෂ්කයේ ක්‍රියාකාරීත්වය දියුණු කර ගැනීමට එනම් එහි ඇති දුර්වලතා මගහැරීමට එය ඉතාමත් ප්‍රයෝජනවත් වේ.
රාත්‍රියේ නින්ද නොයන අයටද ඉතා හොඳය. තවද රත්පිත් නිසා ඇති වන රුධිර පීඩනයෙහි වෙනස්කම් මගහරවා ගැනීමට මයිල මල් තැම්බූ වතුර ප්රයෝජනවත්ය.
මයිල මල් කොළ පොතු මෙන්ම බිජ දියවැඩියා රෝගීන්ටද හිතකර වේ. දියවැඩියාව සුව නොවුණත් රුධිරයේ සීනි මට්ටම පහළ හෙළීමට මයිල ශාකයට හැකියාව ඇත. මයිල මල් සහ ඇට වියළා සිහින්ව කුඩු කර එයට කුරුඳු කුඩු ස්වල්පයක්ද එක් කර නටන වතුරට දමා නිවෙන්න හැර එම ජලය පානය කිරීමෙන් දියවැඩියා රෝගීන්ට යහපත් ප්‍රතිඵල ළඟා කර ගත හැකි වේ.
අපේ මුතුන්මිත්තන් එදිනෙදා කලවම් මැල්ලුමට මයිල දලු එකතු කරගත් නිසා ඔවුන්ට එවැනි ආබාධ ඇති වූයේ අල්ප වශයෙනි.
මාස් ශුද්ධියේදී වේදනාව මෙන්ම අධික රුධිර වහනයද අවම කර ගැනීමට මයිල මල් පොතු තැම්බූ වතුර ඉතා ප්‍රයෝජනවත් වේ. විශේෂයෙන් ආර්තවය ඉතා වේදනාකාරී අයට මහඟු ඖෂධයක් වේ.
අපගේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයේදී කැඩුම් බිඳුම්වලදී මෙන්ම ගෙඩි වණ පිළිකා රෝගවලදී භාවිත කර ඇති මයිල ශාකය වර්තමානයේ භාවිතයෙන් ඈත්ව ගොස් ඇති බව පෙනේ. නමුත් නවීන පර්යේෂකයෝ පිළිකා සඳහා මයිල ශාකය කෙසේ භාවිත කළ හැකිද යන්න සොයා බලමින් සිටිති. අපගේ පැරණි දේශීය වෛද්‍යවරු ගඩු පිළිකා වැනි අවස්ථාවලදී මයිල පොතු, ඇට භාවිත කර තිබේ. එය අමිල මෙහෙවරකි. කෙසේ වෙතත් මයිල ශාකයේ ඇති සුවිශේෂ ගුණ හේතුවෙන් පිළිකා ෙසෙල වර්ධනය වීම අවම කර ගත හැකි බව නම් සොයා ගෙන තිබේ.
අදද අපේ දේශීය වෛද්‍යවරු සර්ප විෂ චිකිත්සාවේදී මයිල ශාකය භාවිත කරති. ලේ දූෂ්‍ය වීමෙන් හට ගන්නා චර්ම රෝගවලටද එය ඉතාමත් යෝග්‍ය වේ. සුව නොවන තුවාල මයිල මල්, පොතු තැම්බූ වතුරින් සේදීම ගැමි ජනතාව අතර පවතින අත් බෙහෙතකි.
මයිල මල් පානයක් ලෙස ජනප්‍රිය නොවූවත් රණවරා මල්, බෙලි මල් මෙන් තම්බා පානය කළ හැකි වේ. නමුත් දිනපතා පානය කෙසේ වෙතත් සතියකට වරක්වත් පානය කිරීමෙන් ශරීරයට සිසිලස මෙන්ම මනසට විවේකයද ලැබේ. අප ගන්නා වූ ආහාරවල ඇති විවිධ විෂ කොටස් නිසා දූෂිත වූ රුධිරය ද පිරිසිදු වෙයි. අම්ල පිත්තය ඇතිවීමේ අවදානම අඩු වෙයි.
එසේ වුවද මයිල මල් කොළ, පොතු ඇට වර්ග ඖෂධ පිණිස භාවිත කිරීමේදී වෛද්‍ය උපදෙස් ගැනීම ප්‍රයෝජනවත් වේ. මන්ද යත් වකුගඩු ආශ්රිත රෝග ඇති අයට මයිල මල්, පොතු ඇට එතරම් යහපත් නොවන හෙයිනි. ඒ නිසා පමණ දැන ආහාරයට ගැනීම හෝ ඖෂධ පිණිස ගැනීම යෝග්‍යය. විශේෂයෙන් මයිල මල් තැම්බූ විට යම් පැණි රසයක් ඇති නිසා බිමටද අපහසුය. අප පරිසරයෙහි ස්වභාවිකව වැවෙන මෙවැනි ශාකවලින් දැන ප්රතිලාභ ලබා ගැනීමෙන් අපගේ සිතට මෙන්ම ගතටද සහනයක් ලැබෙනු ඇත.
දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ කථිකාචාර්ය / මාලේවන ශ්‍රී ඥානිස්සර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය
rivira.lk