SexEducation
යෞවනයන් අතර සමාජ රෝග වැඩිවීමේ ප්‍රවණතාවක්
කැලණිය විශ්වවිද්‍යාලයේ සමීක්ෂණයකින් හෙළිවේ
පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආශ්‍රිතව ලිංගාශ්‍රිත රෝග අවම කිරීම සඳහා මහජන සම්බන්ධතා සැලසුමක් දියත් කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ 2016 කණ්ඩායම පසුගියදා කටයුතු කළේ ය. මේ ඔස්සේ අදාළ කරුණ සම්බන්ධයෙන් පුළුල් පර්යේෂණ කටයුතු සිදුකෙරුණු අතර සිසු සිසුවියන් හා මහජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාවට නැංවිණි. මෙම පර්යේෂණයේ නිල වාර්තාව භාරදීම පසුගියදා එම විශ්වවිද්‍යාලයේදී සිදුවිය.
අන්තර්ජාල භාවිතය
සමාජයේ හා සංස්කෘතියේ ඇතිවූ යම් යම් වෙනස්කම් සමඟ ආදර සම්බන්ධතා සහ ලිංගික සම්බන්ධතා සම්ප්‍රදායන් විශාල වශයෙන් වෙනස් වී ඇත. අන්තර්ජාල භාවිතය සමඟ තරුණ පරපුර ලොව පුරා පැතිර පවතින විවිධ ප්රවණතා විධිමත් ලෙස මෙන් ම අවිධිමත් ලෙස ද ග්‍රහණය කරගන්නා අතර එය ඔවුන්ගේ ප්‍රේම ලිංගික සම්බන්ධතාවලට ඍජුව බලපා තිබේ. එමෙන් ම අද දවසේ කවුරුත් පාහේ ජංගම දුරකථන භාවිතා කරන අතර සමාජ මාධ්‍ය ප්‍රවේශය ද බෙහෙවින් වර්ධනය වී ඇති නිසා එම තත්ත්වය වඩාත් බරපතළ කිරීමට දායක වී ඇත.
ලිංගික සෞඛ්‍ය දැනුමක්
මෙම ප්රවණතාවන්ට සමගාමීව තරුණ පරපුරට ප්‍රමාණවත් ලිංගික සෞඛ්‍ය දැනුමක් ලැබෙන බවක් පෙනෙන්නට නැත. දැනට පවතින යම් යම් වාර්තා අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර සමාජ රෝග ව්‍යාප්තිය වැඩිවී තිබෙන බවත් පෙනී යයි. මෙයට හේතු ලෙස උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන් අවිධිමත් ලිංගික ක්‍රියාකාරකම්වල නියැළීම, සිසුන් යුගල වශයෙන් එකම කාමරයක ලිංගිකව එකතුවීම සහ ආරක්ෂාකාරී ක්‍රම අනුගමනය නොකර සිටීම යනාදී කරුණු හේතු වී ඇත. එබැවින් මෙම පර්යේෂණය සඳහා මෙම රෝග ව්‍යාප්තිය වැඩිම දිස්ත්‍රික්කය වන කුරුණෑගල දිස්ත්‍රික්කය තෝරාගන්නා ලද අතර මෙම තත්ත්වය පාලනය කිරීමට දායකවීම පර්යේෂණ කණ්ඩායමේ මූලික ඉලක්කය විය.
මිනිස් සිරුර ලෙඩ රෝගවලට සංවේදීය. වෛරස් හා බැක්ටීරියා ආසාදනයන්ට මිනිසා ඉක්මනින් ම ගොදුරු වන්නේ එබැවිනි. මෙසේ ඇතිවන ඇතැම් රෝග එළිපිට කතා කරන ඒවා වුව ද එළිපිට කතා කිරීමට අකැමැති මට්ටමේ ඒවාද වෙයි. ‘රහස් ලෙඩ’ යනුවෙන් තවමත් ඇතැමුන් හඳුන්වන ලිංගාශ්‍රිත රෝග ද එවැන්නකි. ලිංගාශ්‍රිත රෝග වලට ද වෛද්‍ය විද්‍යාත්මක දියුණු ප්‍රතිකාර ක්‍රම ඇති අතර එය නිසි කලට ලැබිය යුතු වෙයි. නොඑසේ නම් සිදුවන්නේ එම ආසාදනයන් සිරුර පුරා පැතිරී ස්නායු සෛල අකර්මණ්‍ය තත්ත්වයට පත් කිරීමයි.
දැනට එච්.අයි.වී. ඒඩ්ස් ඇරුණු කොට අනෙකුත් ලිංගාශ්‍රිත රෝග සුව කිරීම සඳහා ප්‍රතිකාර ක්‍රම ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය මගිනුත්, දිවයින පුරා ජාතික රෝහල්වල පිහිටුවා ඇති එම ප්‍රතිකාර ඒකකයන් මගිනුත් ප්‍රතිකාර ලබාදීම සිදු කරයි. එබැවින් ම ලජ්ජාවට පත් නොවී තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගනිමින් අදාළ ප්‍රතිකාර ලබන්නට දැන් මෙම රෝගීන්ට ද අවස්ථාව තිබේ.
රහස් ලෙඩ
මෙම පර්යේෂණය යටතේ ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවන ලදී. පාසල් සිසුන් සඳහා වන වැඩමුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා දැනුවත් කිරීම, අත්පත්‍රිකා හා පෝස්ටර් ආදිය නිර්මාණය කිරීම සහ රූපවාහිනී සාකච්ඡා පැවැත්වීම යනාදිය ඉන් ප්‍රධාන ය. ඉදිරියේදී මෙම වැඩසටහන්වල ප්‍රගතිය අඛණ්ඩව නිරීක්ෂණය කෙරෙනු ඇති අතර ඒ අනුව මෙය සිසුන්, දෙමාපියන්, ගුරුවරුන්, බලධාරීන් ඇතුළු සියලු පාර්ශ්වවලට ප්රතිලාභ සලසන වැඩසටහනක් ලෙස හැඳින්විය හැකිවේ.
වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ 2016 කණ්ඩායම පවසන්නේ මේ ඔස්සේ සමාජයට යහපත් දායකත්වයක් ලබාදීමට හැකියාව ලැබීම ගැන තමන් බෙහෙවින් සතුටු වන බවයි. විවිධ පාර්ශ්ව මගින් මෙවැනි වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සමාජයේ සාධනීය වෙනසක් සඳහා අත්වැල් බැඳගැනීමේ වැදගත්කම ඔවුහු පෙන්වා දෙති.
Wmqgd .ekSu iriúh mqj;a m; weiqfrks