iranama
මේෂ රාශිගත රාහු පෙර භවය ප්‍රකාශ කරයි
රාහු ග්‍රහයෙක්ම නොව චුම්භක ශක්තියක් යෑයි පැවසීම වඩාත් නිවැරදිය. ප්‍රබල ග්‍රහයන්ට පවා බලවත් අභියෝග හා බලපෑම් එල්ල කිරීමට රාහුට හැකියාව පවතී. එසේම පරාශර නියමයන් අනුව රාහු මේෂ රාශිගතව සිටීමෙන් පෙර භවයේ යස ඉසුරු පිරුණු ජීවිතයක් ගත කළ බව ප්‍රකාශ කරන අතර මේ භවයේදී එකී භවය තුළ වරද්දාගත් තැන්වලට ප්‍රතිවිපාක ලබාදෙන බව පැවැසේ.
එසේ වීමට රාහු මේෂ රාශියේ හුදෙකලාව සිටිය යුතුය. එනම් වෙනත් කිසිදු ග්‍රහයෙක් සමඟ සම්බන්ධ නොවී හා වෙනත් ග්‍රහයන්ගේ දෘෂ්ටිවලට ලක් නොවී සිටීමය. එසේම රාහු සිටින රාශියේ අධිපතියා අසූබව කේන්ද්‍රයේ 06-8-12 යන රාශියක සිටීනම් රාහුගෙන් සුබඵල බලාපොරොත්තු විය නොහැක.
අපගේ මාතෘකාව වන්නේ රාහු පෙර භවය නිවේදනය කිරීම සම්බන්ධ තොරතුරුය. 1986 මාර්තු 09 වැනි දින උදේ 09.22 ට උපත ලද තරුණයකුගේ ලග්නය මේෂ රාශිය විය. රාහු සිටියේ මේෂ රැස තුළය. එනම් ලග්නයේය. කේතු 07 වැන්නේ සිටිමින් සෙසු ග්‍රහයන් මෙසේ ස්ථානගත වූහ. සිකුරු සහ බුධ 12 වැන්න වූ මීනයේත්, රවි, චන්ද්‍ර, ගුරු 11 වැන්නවූ කුම්භයේත් ශනි සමඟ ලග්නාධිපති 08 වැන්නවූ වෘෂ්චිකයේත් සිටියේය. එවිට එම කේන්ද්‍රය කාලසර්ප යෝගයකට හසුවිය.
සියාවස නැකතේ ප්‍රථම පාදයෙන් උපත ලත් නිසා ඔහු රාහු මහ දශාවෙන්ම ඉපිද එම දශාව උපන් දින සිට වර්ෂ 17 මාස 08 දින 15 ක් ඉදිරියට පවතින සේ උපත ලද්දේය. මෙසේ මේෂ ලග්නයෙන් ඉපිද රාහු ද, ලග්නගත වෙමින් ලග්නාධිපති 10 හා 11 අධිපති ශනි සමඟ යෝගව 08 වැන්න වූ කුජගේම රාශියේ සිටිමින් දෛවෝපගත ආත්ම කර්මයේ බලය මනාව ඉස්මතු කරයි. 17 වසරකට වැඩි කාලයක් රාහු මහ දශාව වීමද කර්මය හා කර්ම ඵලය නිපදවීමට බලපෑ ප්‍රධාන සාධකයක් විය.
දැන් මෙම තරුණයා ජීවිත ගමනෙ යෙදෙන්නේ ගුරුගේ මහ දශාවේය. මේෂ ලග්න හිමියාට ගුරු භාග්‍ය ලබාදෙන ප්‍රධාන ග්‍රහයා වෙයි. ඒ ඔහුට අයත් මූල ත්‍රිකෝණ රාශිය 9 වැනි භාවයට අයිති වන බැවිනි. ඔහු උපදිනවිට ගුරු තැම්පත්ව සිටියේ 11 වන භාවය වූ කුම්භ රාශියේය. 12 වන භාව හිමිකමද ගුරුට පවතී.
ගුරුගේ එම පිහිටීම ජන්මියාගේ දියුණුවට වැදගත් කමක්, ගෞරවයක්, ගුණදහම් හා ධනය වර්ධනය කරන පිහිටීමකි. එහෙත් අද මෙම තරුණයා මානසික රෝගියකුගේ ස්වභාවයකට පත්ව සිටී. මේෂ ලග්න හිමියකුට එසේ වූ ගුරුගේ පිහිටීම අපමණ සුබදායක වුවද අපමණ අසුබදායක වීමේ ගැඹුරු රහස සොයා බලනවිට ජ්‍යෝතිෂ පරාශර නියමය, නාඩි ශාස්ත්‍රය සේම බුදු දහමේ කර්මය හා විපාක හෙවත් කම්ම විභංගය, ධම්මපදය වැනි ජ්‍යෝතිෂ හා බෞද්ධ දර්ශනය උපයෝගී කොට ඔහුට අත්වී ඇති කර්ම ශක්තිය පිළිබඳ යම් තොරතුරක් දැකගත හැක.
විශේෂයෙන් රාහු මෙම මේෂ ලග්නය තුළ හුදෙකලාවේ තැම්පත්වීම කෙළින්ම ජන්මියාගේ පෙර කර්මය හා සම්බන්ධ වීමකි. එසේ හුදෙකලා වූ රාහු මෙම ජන්මියාගේ පෙර භාවය සියලු යස ඉසුරින් සපිරි සැප ජීවිතයක් බව පෙන්වයි. මෙහිදී රාහුගේ අභිලාෂදායකයා වන්නේ කුජය. එනම් රාහු සිටින මේෂ ලග්න අධිපතියාය. ඔහු මේ කේන්ද්‍රයේ ඔහුටම අයත් 08 වැන්න වූ වෘශ්චික රාශියේ සෙනසුරු සමඟ යෝගව සිටී.
කුජ ප්රචණ්ඩ බව දරයි. ශනි දුක්වේදනා දරයි. මෙම කුජ වෘශ්චික රාශිගතව ඇති බැවින් ඔහුගේ ගති අමුතුම විදියකින් යුක්තය. ඔත්තුකරුවන් ලවා සොයා බලා කටයුතුවල තීන්දුවට වහාම බසී. දෙපිටකාට්ටුකම්, රහස්වැඩ, නඩුහබ, සම්බන්ධ කූටකම් කුජගෙන් නිවේදනය වෙයි. එතන ශනි සිටී. එනම් වෘශ්චිකයේය. එහි ශනිට අයිති ගුණය වන්නේ බොහෝ අයට සොයා ගැනීමට අමාරු දුෂ්කර දේවල් පහසුවෙන් සොයා ගැනීමට හැකිවීමය. එසේ ඔවුන් සිටින්නේ වෘශ්චික රාශිය බැවින් එය 08 වැන්න වන නිසා එහි දුක් කරදර විපත් වද බන්ධන ගැන කියෑවෙන තැන වේ.
එසේම කුජ නියෝජනය කරන්නේ ධෛර්යය, නිර්භීත බව, සටන් බිම, යුද හමුදාව, ආරක්ෂක අංශ, ත්‍රස්තවාදය, හමුදා සෙබළා, ත්රස්තවාදියා, අරගලය ආදී දේවල් බව ජ්‍යෝතිෂ නියමය වෙයි. එනිසා මෙම තරුණයාගේ පෙර භවය යුද හමුදාවක රහස් ඔත්තු ප්‍රධානියෙක් ලෙස පැවැති බවත් ඒ මගින් නිවේදනය වෙයි.
සියලු සැප සම්පත් භුක්ති විඳි ඔහු සතුරන් රැගෙන විත් සිරකර තබා අමානුෂික වද හිංසා පමුණුවා තිබේ. මෙම හටගත් පාපය ඔහුට යළි මිනිස් භවය ලබා දුන්නේ ඒ පවට ආවේණික වද ස්වභාවයෙන්ම විඳවීමට විය යුතුය. එනම් භාග්‍ය කාරක ගුරු ග්රහයාම 22 වන දෙර්කාණ අධිපති වීමත් තව ඉදිරියට බොහෝ කලක් ගුරු මහ දශාව පැවතීමත් අතර ඔහු නිවසෙන් බාහිරව නොයයි. එසේම පොලිසිය, හමුදාව වැනි ස්ථානවලට දැඩි ඇල්මක් ඇති බවද ඔහුගේ මව පවසයි.
හොඳ අධ්‍යාපනයක්ද ලද ඔහු අද වනවිට මානසික රෝගියකු වී සිටී. පෙර භවයේ යුද හමුදාවක හෝ රහස් ඔත්තු සේවා ප්‍රධානියෙක් ලෙස කටයුතු කරමින් සතුරන්ට කුරිරු වද හිංසා පැමිණවීම නිසා එහි ප්‍රතිවිපාක අද අත්විඳියි. එදා යස ඉසුරින් ජීවිතයක් ගත කළ ඔහු අද කිසිදු ආදායමක් නැති මහලු මව සමඟ හුදෙකලා දිවියක් ගෙවයි. ඒ මව තමන්ට ලැබෙන දෙයකින් කෑම වේල සකසයි. කෙසේ හෝ දුක්විඳ වෛද්‍ය සායන සේම බලි තොවිල්ද කරමින් ඔහු ගොඩගන්නට අහිංසක වෑයමක් දරයි. හොඳ උස මහත ලස්සන සිරුරක්ද හිමිව තිබේ.
මේ තුළින් ගම්‍ය වන්නේ කුසලා කුසල විපාක නියත ලෙස තම තමන්ට අත්විඳීමට සිදුවන බවය. පව්කම් කර සැප වින්දත් නියත ලෙස ඒ සැප ගෝර දුකක් බවට පත් වේ. සියල්ලක්ම අනිත්‍ය, දුක්ඛ්ය, අනාත්මය, පෘථග්ජන ජීවිතය පෙනෙන විට පව්කම් කර යම් සැපයක් ලබා සතුටු වන විට ඒවා අනිත්‍ය බව වටහා ගන්නේ නැත. ලෝකය කොතෙක් වෙනස් වෙමින් යුග ඇරඹුණත් මේ සනාතන ධර්මයන් වෙනස් වන්නේ නැත. ඒවා අකාලිකය.
විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර හෝ බලි තොවිල් හෝ කිරීමට පෙර මේ පාපකර්මය දුර්වල කළ යුතුය. ඒ සඳහා ඇස, කන, නාසය, ආදී වූ පංචස්කන්ධ ක්රියායවලිය හා චතුරාර්ය සත්‍යය යම් පමණකට හෝ භවනානු යෝගය මෙනෙහි කළ යුතුය. මෛත්‍රී භාවනාව වැඩිය යුතුය. එයින් අවබෝධය ඇතිකර මනස වෙනස් කළ යුතුය. එසේ සිත, කය, වචනය පිරිසිදු කළ යුතුය. එයට පසු ප්‍රතිකාරවලට එළඹිය යුතුය.
හේතුව නැතිකිරීමෙන් ඵලය බිඳ දැමිය යුතුය. හේතුව පාපයයි. එහි ඵලය අද තත්ත්වයයි. නමුත් මෙම තරුණයාට එවන් දෙයක් කිරීමට මානසික තත්ත්වය දුර්වලය. එනිසා මනෝචිකිත්සක වෛද්‍යවරයකුට යොමුකිරීම තුළින් මනස ගොඩනැගීමට ඇතැම්විට හැකියාව ලැබෙනු ඇත. මිනිස් ජීවිතයේ ලෙඩ දුක්, අගහිඟ, අසාර්ථකවීම්, නොලැබීම් වැනි සෑම දෙයක්ම ඒ අන්දමින්ම දෛවෝපගත වූ පාප හා එහි ඵලයන් වේ.
මේ සනාතන ධර්මය ලෝකයේ කිසිදු ආගමකින් අනාවරණය වී නැත. ඒ සත්‍ය ධර්මය මුල, මැද අග වශයෙන් මනා කොට විවරණය කරන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පමණි.
Wmqgd .ekSu