Life
මව් කිරි දීම නිසියාකාරව සිදු කරමු
ඉපදුන දා සිට මාස 06ක් වන තෙක් බිළිඳාට ආහාර වන්නේ මව් කිරියි දරුවාට අවශ්‍ය සියලූ පෝෂණය, ප්‍රතිශක්තිය මව් කිරි මගින් දරුවාට ලැබෙනවා. නමුත් මව් කිරි දීම ගැන මව්වරුන්ට විවිධ ගැටලු පැන නගිනවා. දරුවා කුස පිරෙන්න කිරි බිව්වාද? දරුවාට කිරි ඇතිද? තමාට නිසි ලෙස කිරි එරෙනවාද? මේ ආදි විවිධ වූ ගැටලූ නිසා මව්වරු, මව්කිරි දීම ගැන කනස්සල්ලෙන් පසු වෙනවා.
දරුවා ඉපදී පළමු දින කිහිපය තුළ එරෙන කිරි රන් කිරි ලෙස අපි හඳුන්වනවා. එහි නියම නම කොලෙස්ට්‍රම්. රන් කිරි හෙවත් කොලෙස්ට්‍රම් මගින් දරුවාට ප්‍රතිදේහ විශාල ප්‍රමාණයක් ලැබෙන අතර දරුවා ආසාදනවලින් වැළැක්වීමට ඊට හැකියාව තිබෙනවා.
මව්කිරි විරේකයක් ලෙසද ක්‍රියා කරනවා. මුල් කාලයේදී දරුවා කහ පැහැවීමද මව් කිරි නිසා වලකිනවා මව් කිරි නිපදවෙන්නේ දරුවාගේ අවශ්‍යතාවටයි. ඒ නිසා දරුවා උපත ලබා පළමු විනාඩි 30 තුළ මව්කිරි දීම ආරම්භ කළ යුතුයි.
මවුකිරි වැඩි කරගන්නේ කොහොමද?
දරුවාගේ අවශ්‍යතාව අනුව නිතර සීමාවකින් තොරව කිරි උරාබීමට ඉඩ දිය යුතුයි. රාත්‍රියට කිරි දීම තුළින් මවගේ කිරි ප්‍රමාණය වැඩි වෙනවා.
කිරි දෙන්නේ කොහොමද?
ඔබට පහසු ඉරියව්වක් තෝරාගන්න. වාඩිවී හෝ ඇලවී හෝ ඔබට පහසු ඕනෑම ඉරියව්වකින් දිය හැකිය.
වාඩි වී සිටිනම්, ඔබගේ පිට කොන්ද හොඳීන් හේත්තු වන සේ පුටුවක ඉඳගන්න.
දරුවා සමීපයට ගන්න
දරුවාගේ නාසය ඔබගේ තනපුඩුව මට්ටමට ගෙන විත් ඔබගේ පපුව දරුවාගේ පපුවට ගෑවෙන සේ රඳවාගන්න.
දරුවාගේ යටි තොල තන පුටුවට ස්පර්ශ කරන්න. ස්පර්ශ වනවිට දරුවා හොඳින් කට අරියි. එවිට දරුවා පියයුර වෙතට ලං කළ විගස දරුවා පියයුර අල්ලා ගනියි.
කිසි විටකත් තන පුඩුව ඇඟිලි දෙකින් අල්ලා දරුවාගේ මුඛයට ඇතුළු නොකරන්න. එවිට දරුවාට හසුවන්නේ තන පුඩුව පමණයි.
ගුඩුස් යැවීම
බොහෝ මව්වරු සෑම කිරි වේලකටම පසු ගුඩුස් යෑවිය යුතු බව දන්නවා. මෙහිදි සිදුවන්නේ දරුවා කිරි උරාබීමේදී කිරිත් සමඟ පෙවුණු වාතය පිටකර යෑවීමයි. ගුඩුස් යෑවීම මගින් බඩ පිපීම, කිරි වමනය යාම, ඉක්කාව, දරුවා නිතර නිතර ඇඹරීම වැනි අපහසුතාවන් මතුවීම වලක්වා ගත හැකියි
හොඳින් කිරි බිව් දරුවාගේ පපුව සෙමෙන් කිහිප විටක් පහතට අත ගාන්න. ඉන්පසු දරුවා මවගේ උරහිස මත සිටින සේත්, පපුව මවගේ උරහිසෙහි ගෑවෙන සේත් තබා ගන්න. බෙල්ලට සහ තට්ටම්වලට අත තබා ආධාර කරමින් පිට ඉහළට අත ගාමින් ටික වේලාවක් තබා ගන්න.
ඇතැම් විට දරුවන් කිරි බොමින් තද නින්දට වැටෙනවා. එවැනි අවස්ථාවල මවුවරු දරුවන් ඇඳ මත හෝ තොටිල්ලේ තබනවා. නමුත් කිරි බිව් දරුවා ගුඩුස් නොයවා නිදි කරවන්න එපා. නින්දෙන් වුවත් ගුඩුස් යවන්න පුළුවන්. ඒ නිසා දරුවා පෙර කිව් ලෙසටම තබාගෙන ගුඩුස් යවන්න. එය අනිවාර්යයෙන්ම කළ යුතුයි.
කිරි හිරවීම
දරුවන් කිරි උරා බොන අතර ඇතැම් විට කිරි හිරවීම සිදු වෙන්න පුළුවන්. දරුවා නිවැරදි ඉරියව්වලින් තබාගෙන සිටිනවා නම් බොහෝ විට මෙය වළක්වා ගත හැකියි. අපි “ඉස්මොල්ලේ යනවා” ලෙස හඳුන්වන්නේත් මේ දෙයමයි. මෙලෙස සිය කිරි කටින්ම හෝ නාසයෙන් ඉවතට එනවා. මව කල්පනාකාරී නොවුණොත් මේ කිරි පෙනහළු තුළට ගමන් කරන්නට පුළුවන්. ඒ නිසා කිරි හිරවූ බව දැනුණු විගස දරුවා පැත්තට හැරවීම කළ යුතුයි.
බොහෝවිට කිරි හිරවීමත් සමඟ දරුවාට කැස්ස එනවා. ඉන් හිරවූ කිරි ඉවතට යනවා. දරුවා නොහඬා කිරි හිරවූ ස්වභාවයෙන් සිටිනවා නම් දරුවා හඬවන්න. එවිට යථා තත්ත්වයට පත් වෙනවා. එසේ නොවී වඩාත් හිරවූ ස්වභාවයක් දරුවා පෙන්වනවා නම් නාසයට මුව තබා කිරි උරා දැමිය යුතුයි. මෙය නිසි උපදෙස් මත කළ යුතුයි.