Life
බෙහෙත් පත්තියම් කරන පොල් තෙලේ බලේ
මොනවද දොස්තර මහත්තයෝ මේ ගමන අම්මාට අලුතින් එකතු කරපු බෙහෙත්” තනුජි වෛද්‍යවරයාගෙන් ඇසූවිට ඔහුගෙන් ලැබුණේ මෙවැනි පිළිතුරක්.
“මේක පපුවේ අමාරුවට. මේ බෙහෙත දෙන්නේ අනෙක් බෙහෙත්වල ඖෂධීය ගුණය හොඳින් සිරුරට අවශෝෂණය කරගන්න පහසු වෙන්නයි”
“එතකොට නිකම්ම බෙහෙත් බිවාට විතරක් අවශෝෂණය සිදු වෙන්නේ නැද්ද?” තනුජිගෙන් තවත් ප්‍රශ්නක්.
“සාමාන්‍යයෙන් අවශෝෂණය සිදු වුණත් වඩා හොඳින් ඖෂධ සිරුරට උරා ගැනීම සඳහා මේ වගේ බෙහෙතක් අවශ්‍යයි.”
තනුජිත් වෛද්‍යවරයාත් අතර ඇති වූ කතාබහෙන් පැහැදිලි වන්නේ සාමාන්‍යයෙන් බෙහෙත්පෙති, කරල් ගිල දැමූ පමණින් අපේක්ෂිත ප්‍රතිඵල ඇතැම් විට නොලැබෙන්නට ඉඩ ඇති බවය. මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා පසුගියදා අපට කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨාධිපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා හමුවීමට අවස්ථාවක් ලැබුණා.
“අප එදිනෙදා ආහාරයට ගන්නා ද්‍රව්‍යවලත් ඒ වගේම ඖෂධවලත් අඩංගු ප්‍රති ඔක්සිකාරක (Antioxidants) සියල්ලම හොඳින් අවශෝෂණය වීමේ තත්ත්වයක් කුඩා අන්ත්‍රයේ නොතිබෙන්නට පිළිවන්. ප්‍රති ඔක්සිකාරක අවශෝෂණය පහසු කිරීම සඳහා ඖෂධ සිරුර තුළට රැගෙන යෑමේ උපකාරකයක් වශයෙන් (Drug Delivery System) මධ්‍යම දාම මේද අමිල (Medium chain Fathy acids) යොදා ගැනෙනවා.” යනුවෙන් කතාවට පිවිසි මහාචාර්යවරයා ඉන්පසු අපට කීවේ සුබ ආරංචියක්.
“මධ්‍යම දාම මේද අම්ල තවත් ඖෂධයක් වශයෙන් ගන්නවා වෙනුවට ඊට සුදුසු දේශීය විකල්පයක් සොයන්නට අප විසින් කරන ලද පර්යේෂණයක් සාර්ථක වුණා. ආහාර හා ඖෂධවල අඩංගු ප්‍රති ඔක්සිකාරක පහසුවෙන් අවශෝෂණය කර ගැනීමට රුකුල් දෙන ද්‍රව්‍යයක් වශයෙන් පොල්තෙල් හඳුන්වා දිය හැකියි.”
පොල්තෙල්වල අඩංගු වන්නේ ද මධ්‍යම දාම මේද අම්ලය. ඒවායෙහි උපකාරයෙන් ඖෂධයක හෝ ආහාරයක අඩංගු ප්‍රතිඔක්සිකාරක සිරුරට අවශෝෂණය වීම කාර්යක්ෂම කළ හැකියි. මේ සම්බන්ධයෙන් මහාචාර්ය සෙනෙවිරත්න සහ ආචාර්ය නිමන්ති ජයතිලක ඇතුළු කණ්ඩායම මීයන් යොදාගෙන පරීක්ෂණයක් සිදු කොට තිබේ.
“අප මෙහිදී යොදා ගත්තේ ඔලිව් තෙල්, සෝයා තෙල් ආදියට සාපේක්ෂව පොල්තෙල්වල ප්‍රතිඔක්සිකාරක අවශෝෂණයට රුකුල් දීමේ ස්වභාවයයි.” ආචාර්ය නිමන්ති ජයතිලක සඳහන් කළා.
ප්‍රතිඔක්සිකාරක අඩංගු කැෆේයික් අම්ලය (Caffaic Acid) මීයන්ට කවා ඉන්පසු ඔවුන් කණ්ඩායම් කිහිපයකට වෙන්කර පිරිසකට පොල්තෙල් ද තවත් පිරිසකට සෝයා තෙල් ද තවත් පිරිසකට ඔලිව් තෙල්ද ලබා දී ඉන්පසු ඔවුන්ගේ රුධිරය පරීක්ෂා කොට බැලූ බවත් ඇය පැවසුවා.
“අපගේ නිරීක්ෂණ අනුව පොල්තෙල් තමයි අනෙක් මේද තෙල්වලට සාපේක්ෂව ප්‍රතිඔක්සිකාරක අවශෝෂණය පහසු කිරීමේදී ඉදිරියෙන්ම සිටින්නේ. ඉන්පසුව පරීක්ෂණාගාරයේ ෙසෙල රෝපණ පරීක්ෂාවක් මගිනුත් මේ ප්‍රතිඵල තහවුරු වුණා.” මෙසේ පැවසුවේ මහාචාර්ය කපිල සෙනෙවිරත්නයි.
එදිනෙදා ආහාරවල තිබෙන ප්‍රති ඔක්සිකාරක ගුණය මනාව සිරුරට අවශෝෂණය වන්නට පොල්තෙල් උපකාරී වන බව මේ අනුව පෙනී ගියත්, පමණට වඩා පොල්තෙල් කෑම නම් සිරුරට අහිතකර විය හැකි බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.
එක වෙලාවකට වෑංජන තුන හතරක් යොදා ගැනීමයි අපේ සිරිත. එහෙමයි කියලා ඔය ඔක්කෝම පොල්තෙලින් තෙම්පරාදු කරලා කන්න හොඳ නෑ. පොල්තෙල් මගින් ප්‍රති ඔක්සිකාරක අවශෝෂණය පහසු කළාම මොකද වැඩුණු පුද්ගලයකුට දවසකට අවශ්‍ය මේද ප්‍රමාණය ග්‍රෑම් 70 යි. ග්‍රෑම් 70 කට වඩා මේදය අනුභව කිරීම සිරුරට අහිතකරයි.”
“දිනකට අවශ්‍ය මේද ප්‍රමාණය කෙළින්ම පොල්තෙල් වශයෙන් සිරුරට ගන්නට අපහසුයි. මොකද අපේ ආහාරවලට පොල්කිරි, මස්, කරවල, රටකජු වගේ මේදය සහිත ද්‍රව්‍යයක් අඩංගු වෙනවා. ඒවායිනුත් සැලකිය යුතු මේද ප්‍රමාණයක් සිරුරට එකතු වෙනවා.”
දළ වශයෙන් හතර දෙනකුගෙන් යුත් පවුලක් දවසේ සියලු ඉවුම් පිහුම් සඳහා පොල් ගෙඩියක් භාවිත කරනවා යැයි සිතමු. එසේ නම් එක් පුද්ගලයකුට වෑංජන මගින් ලැබෙන මේද ප්‍රමාණය ග්‍රෑම් 30-40 ක් විතර විය හැකියි. එවිට කෙළින්ම තෙල් වශයෙන් ආහාරයට එකතු කරගත හැක්කේ තවත් ග්‍රෑම් 30 කට නොවැඩි ප්‍රමාණයක් විතරයි. මේ නිසා පොල්තෙල් හා අනෙකුත් මේදමය ආහාර අනුභවයේ දී සැලකිලිමත් වීම ඉතා වැදගත්.
මහාචාර්ය කපිල සෙනෙවිරත්න හා ආචාර්ය නිමන්ති ජයතිලක එක්ව පොල්තෙල්වල රසායනික තත්ත්වය හා පෝෂ්‍ය ගුණය පිළිබඳ පොතක් පසුගියදා එළිදැක්වූ බවත්, මෙහිදී සඳහන් කරන්නට අවශ්‍යයි. ඉංග්‍රීසි බසින් පළ කරන ලද මේ ග්‍රන්ථය ඇසුරින් පොල්තෙල් පරිභෝජනය පිළිබඳ වැඩිමනත් කරුණු විමසන්නටත් අප අමතක කළේ නැහැ.
“පොල්තෙල්වල ගුණාත්මක සාධක අනුව ආහාර පිසීමට ගන්නා අනෙකුත් තෙල් වර්ගවලට වඩා අසහාය වටිනාකමක් එහි තිබෙන බව පෙනී යනවා. පොල්තෙල්වල අඩංගු මේද අම්ලවලින් සියයට 90 ක්ම සංතෘප්ත මේද අම්ලයි (Saturated Fatty acids) අනෙක් අතට මේද අම්ලවලින් 80 ක් පමණ මධ්‍යම පරිමාණ දාම සහිතයි. කෙටි දාම සහිත මේද අම්ල සිරුරට පහසුවෙන් අවශෝෂණය වෙනවා. ඒවා මේද වශයෙන් සිරුරේ තැන්පත්වීම අඩුයි. කෙසේ වෙතත් පොල්තෙල්වල අත්‍යවශ්‍ය මේද අම්ල (Essential Fatty Acids) අඩුයි. අත්‍යවශ්‍ය මේද අම්ල සඳහා වෙනත් විකල්පයක් අනුගමනය කරන්නට සිදුවෙනවා” මහාචාර්යවරයා සඳහන් කළා.
පොල්තෙල්වල ප්‍රතිජීවක, දිලීර නාශක ගුණ පවතින බවත්, ඔවුන්ගේ ග්රන්ථයෙහි සඳහන් වෙනවා. පොල්තෙල්වල ලෝරික් අම්ලය (Lauric Acid) සියයට 50 ක් පමණ අඩංගුයි. එහි වෛරස්, බැක්ටීරියා හා දිලීර නාශක ගුණ තිබෙනවා. කාලයක් පොල්තෙල් අනුභවය ශරීරයට අහිතකරයි කියලා මතයක් තිබුණු නිසා ඒ ගැනත් විමසන්නට අමතක කළේ නෑ.
“පොල්තෙල් නරකයි කියලා කිව්වේ එහි වැඩි වශයෙන් සංතෘප්ත මේද අම්ල අඩංගු නිසයි. සංතෘප්ත මේද අම්ල (Sturated Fatty Acid) මගින් රුධිර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යනවා කියලා මතයක් තිබෙනවා. ඒ වුණත් මුල් කාලයේ දී සංතෘප්ත මේද අම්ල ඇතුළෙ තිබෙන හොඳ දේවල් ගැන දැනගෙන හිටියේ නෑ. දැන් තත්ත්වය වෙනස්. පොල්තෙල්වල විශේෂත්වය තමයි ඒවායෙහි මධ්‍යම පරිමාණයේ දාම සහිත මේද අම්ල අඩංගු වීම. ඒ බව කලිනුත් කීවා. “මධ්‍යම පරිමාණයේ දාම සහිත මේද අම්ල මේදය වශයෙන් තැන්පත් වීම අඩුයි. ඒවා කෙළින්ම ශක්තිය ජනනය කරන්නට යොදා ගැනෙනවා.” අනෙක් අතට ලංකාවේ කෑම පිසීමේ සම්ප්රදායයන් විශේෂයි. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 180-200 ක විතර උෂ්ණත්වයකට තෙල් රත්කරලා තමයි කෑම පිසින්නේ. එහිදීතෙල්වල සංයුතිය වෙනස් වෙනවා. අහිතකර ෆෙරොක්සයිඩ් සෑදෙන්නටත් ඉඩ තිබෙනවා. අසංතෘප්ත මේද අම්ල වැඩි තෙල්වල අහිතකර ෆෙරොක්සයිඩ් සෑදීමේ ප්‍රවණතාව වැඩියි. පොල්තෙල්වල වැඩිපුර තිබෙන්නේ සංතෘප්ත මේද අම්ල නිසා ගැඹුරු තෙලේ බැදීමේ කටයුතුවලට වඩා සුදුසුයි. මොකද පොල්තෙල්වල අහිතකර ෆෙරොක්සයිඩ් සෑදීමේ ප්‍රවණතාව අඩුයි.”
කෙසේ වෙතත් අවසන් වශයෙන් මහාචාර්ය කපිල සෙනෙවිරත්න නැවතත් අවධාරණය කළේ පොල්තෙල්වල යහපත් ලක්ෂණ කෙතරම් තිබුණත් පමණ ඉක්මවා පොල්තෙල් අනුභවය නම් අනුමත කළ නොහැකි බවයි.
Wmqgd .ekSu nqoqirK mqj;a m; weiqfrks