iranama
බබාට නම් තැබීමට පෙර මේ ගැනත් සිතන්න
උපදින දරුවාට නමක් තැබීමට දෙමව්පියන් උනන්දු වන්නේ දරුවා ඉපදීමටත් පෙර සිටය. ඉතාම ප්‍රසිද්ධ අයෙකු ලවා නම් ලබාගැනීමටත්, ලෝකයේ කවරෙකුට හෝ නැති නමක් තැබීමටත් දෙමව්පියන් දරන උත්සාහය නිසා අනාගතයේදී සියලු දෙනා ඉදිරියේ හෑල්ලුවට පත්වන්නේ තමන්ගේම දරුවා බව මේ දෙමව්පියෝ නොදනිති.
අද දෙමව්පියන් විසින් දරුවන්ට තබන බොහෝ නම් කියවිය නොහැක. ඒ මහප්‍රාණ අක්ෂර පෙළකින්ම නම් තබා ඇති නිසාවෙනි. ඊළඟ කාරණය වන්නේ තබා ඇති නමේ අරුත නොදන්නා කමයි. නමේ නියම තේරුම දැනගත්දාට දරුවන් දෙමව්පියන්ටත්, නම් තැබූ තැනැත්තාටත් දෙස් දෙවොල් තබනවාට කිසිදු සැකයක් නොමැත.
නමේ තේරුම නිසා දැඩි අපහසුතාවයකට පත්වන බව පෙන්වීමට උදාහරණ කොතරම් දිය හැකි වුවත් මේ අවස්ථාවේදී ඉතාම සාධාරණ උදාහරණ කීපයක් පමණක් දීමට උත්සහ කරමි.
තිමිර යනු අඳුරයි. පාලින්ද යනු පෙකණිවැලයි. යෝනිකා යන්නට අර්ථය ලිවීමට අකමැති වුවත් එවැනි නම්ද අද අපට හමුවෙයි. මේ අනුව බලන විට තමාගේ නම අඳුරකට, පෙකණිවැලකට සමකොට ඇති බව අනාගතයේදී දැනගන්නා ළමුන් සමාජය ඉදිරියේදී කොතරම් හෑල්ලුවකට ලක්වේද? මානසික වශයෙන් කොතරම් පීඩාවකට ලක්වෙයිද? මේ නිසා නම් තැබීමේදී ආවාට ගියාට නම් නොතියා ඒ ගැන දන්නා අයකු ලවා නම් තබාගැනීම නුවනට හුරු ක්‍රියාවකි.
මුලින්ම දෙමව්පියන් තම දරුවාට නමක් තැබීමේදී ඒ නම කාලයට ගැලපේද යන්න විමසා බැලිය යුතුය. පැරණි සිංහල නම් අප තුළින් සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් ඇතේතේ මේ තත්ත්වය නිසාය. අතීතයේ දී ගිරිගෝරිස්, ඇඩ්වින්, ඡේන්, ජොසපින්, ලොකුබණ්ඩා, අප්පුහාමි, සේතං ආදී වශයෙන් නම් තැබුවද අද එය නොකරයි.
මගේ පියාගේ නම විලියම් සිංඤ්ඤොය. එදා සමාජයේ පාලකයෝ ඉංග්‍රීසි වූ බැවින් ඉංග්‍රීසි නමක් තැබීම වඩා වාසිදායක වූ නිසා සිංහල බෞද්ධයෙකු වූ මගේ පියා විලියම් සිංඤ්ඤො විය. ග්‍රෙගරි, ස්ටීවන්, තෝමස්, ඇල්බට්, ෆැන්සිස්, කෝල්ටන් ආදී වශයෙන් වූ පියාගේ යහළුවන්ටද ඉංග්‍රීසි නම් ලැබුණේ එදා සමාජයේ පැවැති තත්ත්වය අනුවය.
නම් තැබීමේදී මීළඟට සලකා බැලිය යුත්තේ ජ්‍යෝතිෂයයි. ජ්‍යෝතිෂයට අනුව නම් තැබීම සඳහා ක්‍රමවේද රාශියක් වේ. උපන් ලග්නයට, දවසට, නැකතට, නැකැත් පාදයට ආදී වශයෙන් මුළු පංචාගයටම ගැලපෙන පරිදි නමක් තැබීම සුබ දෙයකි. එහිදී නමට තබන අකුරුවල ගණ පිහිටීම කෙරෙහිද අවධානය යොමු කළ යුතුය. මෙසේ නිවැරදි ගනු පිහිටුවා අර්ථවත් නමක් තැබීමෙන් මුළු පවුලම නොව මුළු වංශයට බබලන්නේය. සිදුහත් කුමරුට කොණ්ඩඤ්ඤ බමුණා 'සිද්ධාර්ථ' යනුවෙන් නම් තැබුවේ අර්ථයක් අනුවය. එසේම ඒ නැකත්, ගණ, අර්ථ අනුව තබන ලද නාමය මුළු විශ්වයම බැබලුවේය. මේ ගැන දීර්ඝ විස්තරයක් නොලියන්නේ පංචාංගයට අනුව ගැලපෙන නමක් තෝරාගැනීම ඔබට අපහසු බැවින් හා ඒ සඳහා ජ්යෝතිෂවේදීයකුගේ සහාය ලබාගත යුතු නිසාය.
ප්‍රායෝගික වශයෙන් මී ළඟට සලකා බැලිය යුත්තේ ඔබ දරුවාට තබන නම විකෘති කොට, අසභ්‍ය කොට, විහිළු කොට කීමට හැකි නමක්ද යන්නයි. එවැනි නමක් තැබූ විට ඔහු මුළු ජීවිත කාලය පුරාම විඳවනු ලබයි. මගේ යහළුවකුගේ බිරිඳගේ නම "විමාෂී" වෙයි. ඇයට අපි සියලු දෙනාම අදටත් කියන්නේ 'විනාසී" යනුවෙනි. පාසල් කාලයේදී පටබැඳුනු නිසා ඒ විහිළු නම ඇයට අදටත් අපිට වලංගු වුවත් ඇය කොතරම් විඳවනවා ඇත්දැයි අපි නොදනිමු. එහෙයින් එසේ විහිළුවට ලක්වන නම්ද නොතැබිය යුතුය.
සෙත්කවි, මන්ත්‍ර, ගාථා ආදිය කීමෙන් හොඳක් සිදුවන්නේ ඒවායෙහි ගණ පිහිටුවීම නිසාය. මේ නිසා නම් තැබීමේදී තමන්ගේ ජීවිතයට සුබ දෙයක්, යහපතක් වන නමක්ම තැබිය යුතුය. එමෙන්ම ළමා විය ඉක්මවා ගිය පසු ඔහු හෝ ඇය එම නමට කැමති වන්නේද යන්න ගැනත් තරමක් සිතා බැලිය යුතුය.
මගේ පරම්පරාවේ ජ්‍යෝතිෂ ගුරුවරයා මගේ අම්මාගේ මල්ලීය. මාමාට මගේ ආච්චි නම වශයෙන් තබා තිබුණේ ගිස්දස්සේන බණ්ඩා යනුවෙනි. ඔහු විභාගය සමත්ව ගුරු අභ්‍යාස විද්‍යාලයට යැමට සූදානම් වූ අවස්ථාවේදී මේ නම නිසා මුළු පවුලම ගිණිගෙන, මාමා ජීවිතය පවා නැති කරගන්නට ගිය බව මම අසා ඇත. අවසානයේදී පළාතේ භික්ෂුන් වහන්සේ කෙනෙකු මාමාගේ නම වෙනස් කොට ගුරු අභ්‍යාස විද්‍යාලයට යෑවීමට කටයුතු කිරීම නිසා මට ජ්‍යෝතිෂය හදාරන්නට අවස්ථාව ලැබිණි. නැතිනම් නම නිසා මගේ මාමා මිය පරලොව ගොසිනි. වාසනාවට කොතරම් වයෝවෘද්ධ වුවත් අදටත් ඔහු ජීවතුන් අතරවෙයි.
මේ නිසා පහසුවෙන් කීමට හැකි, අර්ථයක් ඇති ගණවලට සරිලන, කාහටත් ප්‍රිය නමක් තැබීමට දෙමව්පියන් උත්සහ කරනවා විනා ලෝකයේ කොහෙවත් නැති නමක් තැබීමට උත්සහ නොකළ යුතුය.
ජනමාධ්‍ය පුහුණුවකට මා එතෙර ගොස් සිටි අවස්ථාවක වයස 28 ක තරුණයෙකු එම ජනමාධ්‍ය ආයතනය විසින් සම්මුඛ සාකච්ඡාවකට කැඳවා තිබිණි. එංගලන්තයේ ඔහුගේ මව හා පියා ඔහුට ඉංග්‍රීසි භාෂාවේ අකුරු 26 න්ම නමක් තබා තිබීම ඔහු එම සාකච්ඡාවට කැඳවීමට හේතුවයි. ඔහු ඒ ගැන කතා කළේ දැඩි සේ උරණවය. අවසානයේදී ඔහු වයස 20 දී ඔහුගේ නම නම් දෙකකට සීමා කරගෙන තිබිණි.
අපේ ගමේ පිරිවෙණේ ළමුන් 2016 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) විභාගයට පෙනී සිටීමට ඉල්ලුම්පත් පිරවීමට යැමේදී වාසගම් තුනක් හා නම් හතක් ඇති ශිෂ්‍යයකු මට හමුවිණි. ඔහුගේ නම ලිවීමට විභාග දෙපාර්තමේන්තුව විසින් සපයා දී තිබූ කඩදාසියේ රූල ප්‍රමාණවත් නොවීය. අවසානයේදී ඔහුගේ නම ලිවීමට සිදුවූයේ විභාග කොමසාරිස්වරයාගෙන්ද උපදෙස් ලබාගෙනය. මේ නිසා නම් තැබීමේදී වාසගම, තබන නම ගැනද අපි ඉතාම සැලකිළිමත් විය යුතුය. නැතිනම් තමන්ගේ නම ජීවිතයට අවැඩක්, අසුබක්, මෙන්ම මුළු ජීවිත කාලයටම විහිළුවක්ද, විනාශයක්ද විය හැකිය.
Wmqgd .ekSu