Life
දැන් දරුපල වැඩිපුරම නැත්තේ පිරිමින්ටලු
කිකිළි වටේ කුකුළු පැටව් වගේ අම්මා තාත්තා වටේ එක බඩවැල කඩාගෙන ආ දරුවන් රංචුවක් දකින්න ලැබීම අද කාලයේ අසිරිමත් දර්ශනයක්. ඒ දරු සම්පත බොහෝ දෙනකුට අහිමි සම්පතක් වී ඇති නිසයි.
දරුවන් කළුනික වගේ කියන්න වෙන කාලෙ වැඩි ඈතක නැහැ. වසර ගණනක් පුරා කළ පර්යේෂණවලින් හෙළිවී ඇති අන්දමට පිරිමින්ගේ මඳසරුබව දරුපල අහිමිවීමට වගකිව යුතු ප්‍රධාන සාධකයක් බවට පත්වී අවසානයි.
ගතවූ අවුරුදු පනහේදී පිරිමින්ගේ ශුක්‍රාණු එකතුව සියයට පනහකින් අඩුවී තිබෙනවා. වයස්ගතවන විට පිරිමින්ගේ ශුක්‍රාණු අසාමාන්‍ය වීමට තිබෙන ඉඩද වැඩියි. යුවළකට දරු සම්පත අහිමි කරන ප්‍රධාන සාධක අතරින් සියයට පනහකටම බලපා ඇත්තේ මඳසරු භාවයයි. දරුවකු පිළිසිඳීමට අඩු වශයෙන් මිලිලීටරයකට ශුක්‍රාණු මිලියන 20 ක්වත් තිබිය යුතුයි.
අලුත්ම පර්යේෂණ වාර්තාවන්ට අනුව පිරිමින් මඳසරු කරන කරුණු රැසක් තිබෙනවා.
දිනපතා පිරිමින්ගේ වෘෂණ කෝෂ මඟින් මිලියනයක් පමණ ශුක්‍රාණු නිපදවෙනවා. ශුක්‍රාණු සෛලවල කෙනකුගේ ඩීඑන්ඒ අඩංගුයි.
* ශුක්‍රාණු නිපදවීමට බාධා කරන කරුණු වයස
වයස අවුරුදු 35 ට පසු කාන්තාවන්ගේ මෙන්ම පිරිමින්ගේත් ශුක්‍රාණු නිපදවීම අඩාල වෙනවා. ඒ නිසා දෙපිරිසගෙන්ම දරුවකු පිළිබඳ සිහිනය දුරස් වෙනවා.
බොහෝ කලක් යනතුරු වැඩි දෙනා විශ්වාස කළේ පිරිමියකුගේ වයස දරුපලවලට බලනොපාන බවයි. එහෙත් වයස අවුරුදු හතළිහක හෝ ඊට වැඩි වයසක පිරිමියකු වයස අවුරුදු 30 ට අඩු කාන්තාවක හා විවාහ වුණත් දරුවකු පිළිසිඳ ගැනීමේ ඉඩකඩ 25% ක් අඩුවෙනවා. කාන්තාවගේ වයස අවුරුදු 35 - 37 නම්, පිරිමියාගේ වයස අවුරුදු 40 ට වැඩිනම් 50% කින් දරුවකු පිළිසිඳ ගැනීමට තිබෙන ඉඩ ඇහිරී යනවා.
පිරිමියා වයස්ගතවෙන විට ජාන විකෘතිවීම් ද වැඩියි. එනම් අස්වාභාවික දරුවන් බිහි වීමේ විශාල අවදානමක් පවතිනවා. ඩවුන් සින්ඩ්‍රෝම්, භින්මෝන්මාදය, ඔටිසම් වැනි රෝග තත්ත්ව මේ නිසා උපදින දරුවන් අතර සුලබයි. වයස්ගත පිරිමින්ගේ ශුක්‍රාණු චලනයවීම අඩුයි. ඒ වාගේම කෙළින්ම පිහිනායාම ද අඩුයි. මේ තත්ත්වය වැළක්වීමට නම් නිසි කල වයසේදී විවාහ විය යුතුයි.
කිටි කිටියේ හිරවෙන යට ඇඳුම් ඇඳීම
සමහර පිරිමින් කඩවසම් පෙනුම වැඩිකර ගැනීමට ඇඟට සිරවෙනසේ යට ඇඳුම් අඳිනවා. එහෙත් එය දරු පිළිසිඳ ගැනීමකට බාධාවක්. තද වෙනසේ යට ඇඳුම් ඇඳීමේදී වෘෂණ කෝෂ සිරුරට වඩාත් සමීප වන අතර ඒවාට ලැබෙන වාතාශ්‍රය අඩුවෙනවා. වෘෂණ කෝෂ ආශ්රිත උෂ්ණත්වය වැඩි වෙන විට ශුක්‍රාණු නිපදවීමට බාධා සිදුවෙනවා. වෘෂණ කෝෂ හොඳින් ක්‍රියා කරන්නේ ශරීර උෂ්ණත්වයට සෙන්ටිග්‍රේඩ් 2 ක් වත් අඩුවෙන් තිබුණොත් පමණයි.
පිරිමින් ඇඳිය යුත්තේ ඉඩකඩ ඇති යට ඇඳුම් වන බොක්සර් කොට කලිසම් සහ දිග කලිසම්ය.
රෝගීවීම
රෝග තත්ත්ව ගණනක්ම පිරිමියකුගේ ශුකාණුවලට බලපායි. හෘද රෝග රුධිර සංසරණයට බලපායි. එයින් සිදුවන්නේ නිසි ලෙස ආදරයේ සතුට බෙදා ගැනීමට නොහැකිවීමයි. ආදරය ක්‍රියාකාරීව පවත්වා ගැනීමට තවත් බාධාවක් වන්නේ දියවැඩියා රෝගයයි. දියවැඩියා අයට සුපුරුදු ලෙසින් කායික සතුට පවත්වා ගැනීමට බැහැ. ඒ වාගේම දියවැඩියා රෝගීන්ගෙන් හානිවූ ශුක්‍රාණු වැඩිපුර නිපදවෙනවා.
බෝ නොවන රෝග වැලඳීමේ ඉඩ අඩු කරන ජීවන රටාවක් පවත්වාගෙන යාම මීට ඇති විසඳුමයි. පරම්පරාගතව රෝගය පැවතීම, වයස්ගතවීම වැළැක්වීමට නොහැකි හේතුන් නමුත් පොදුවේ බොහෝ දෙනකුට ව්‍යායාම මඟින්, සමබල ආහාර ගැනීමෙන්, උසට සරිලන බරක් පවත්වා ගැනීමෙන් බෝ නොවන රෝගවලින් ආරක්ෂාවිය හැකියි. දැනටමත් රෝගී නම් කළ යුත්තේ රෝගයට වෛද්‍ය උපදෙස්, වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ව්‍යායාම කිරීමයි.
පිළිකා ප්‍රතිකාර
විකිරණ හා කිමෝතෙරපි ප්‍රතිකර්මයෙන් ශුක්‍රාණු නිෂ්පාදනයට බාධා සිදුවෙනවා.
ඖෂධ - ඇතැම් ඖෂධ ආදරණීය හැඟීම් උදුරාගන්නවා. සමහර ඖෂධවල විස වෘෂණ කෝෂවලට බලපාන අතර ශුක්‍රාණු නිපදවන සෛලවලට හානි සිදුවෙනවා. ප්‍රතිජීවක, ටෙට්රසයික්ලීන්, අධික රුධිර පීඩනයට ගන්නා ඖෂධ ශුක්‍රාණු ක්‍රියාකාරිත්වයට බාධාවක්.
වෙරියෝසිලේ - වෘෂණ කෝෂ වටා ඇති නහර අස්වාභාවික ලෙස පළල්වීම පිරිමින්ගේ මඳසරු බවට බලපාන ප්‍රධාන ගැටලුවක්. මේ නිසා උෂ්ණත්වය ඉහළ යනවා. ශුක්‍රාණු හොඳින් ක්‍රියා කරන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 35 දීයි. සැත්කමකින් නහරවල ගැටලුවට විසඳුම් ලබාදිය හැකියි. ඒ වගේම මඳසරු බවේ ගැටලුවටද විසඳුම් ලැබෙනවා.
අවහිරතා - ක්ලැමීඩියා සහ ගොනෝරියා එක් සහකරුවකු පමණක් ඇසුරු නොකිරීමේ වරදට සෑදෙන රෝගයි. මේවායින් වෘෂණවලට ශුක්‍ර රැගෙන යන නාල අවහිර වෙනවා. එනිසා මඳ සරුබව ඇතිවෙනවා.
ව්‍යායාම නොකිරීම - ව්යායාමකර නිරෝගී ජීවිතයක් පවත්වා ගැනීම සාර්ථක පිළිසිඳ ගැනීමකට මඟ පාදනවා. එහෙත් ව්‍යායාමවල පමණට වඩා යෙදීම ගැහැනුන්ට මෙන්ම පිරිමින්ටද හානිකරයි. අඩුත් නැතිව වැඩිත් නැතිව ව්‍යායාම කළ යුතුයි.
පමණට වඩා බයිසිකල් පැදීම කායික සතුට අහිමිකරන හේතුවක්. මෙසේ වන්නේ බයිසිකල් පැදීමේදී පිරිමියාගේ රහස් පෙදෙස තෙරපීමෙනි. හිරිවැටීම හා සබඳතා පැවැත්වීමේ ගැටලු මේ නිසා පැන නැඟිය හැකියි. සිරුරේ යට පෙදෙස දැඩි ලෙස තෙරපෙන්නේ නැති ආකාරයේ බයිසිකල් තෝරා ගත යුතුයි. සිටගත් ඉරියව්වෙන් බයිසිකල් පැදීමෙන් කිසිදු ගැටලුවක් මතු වෙන්නේ නැහැ.
උණුසුම තහනම්
උණුසුම් තැන්වල සිටින වාරයක් වාරයක් පාසා ශුක්‍රාණු නිෂ්පාදනයට බලපෑම් ඇතිවෙනවා. සෙනඟ ගැවසෙන සෙනඟ පිරුණු ඕනෑම තැනක. (උදා: දුම්රිය, බස්රිය, සෙනඟ පිරුණු රැස්වීමක්) මේ අවදානම පවතිනවා. උණු වතුර නෑම පවා බලපානවා. සෙල්සියස් අංශක 40 ක උණුසුම් ජලයේ මිනිත්තු 30 කට වඩා සිටීමෙන් සැලකිය යුතු මට්ටමකින් ශුක්‍රාණු එකතුව පහළ බසිනවා.
ආදරය කිරීමට වෙලාවක් නොතිබීම
දරුවකු පිළිසිඳ ගැනීම ගැන සිහින මැවිය හැක්කේ හොඳින් ආදරය කරන යුවළකටයි. ආතතිය බොහෝ ජෝඩුවල ආදරයට බාධාවක් වන කරුණක්. ආතතිය දෙආකාරයකින් පිරිමින්ගේ සරු බවට අහිතකර ලෙසින් බලපානවා. ආතතිය ඇතිකරන කෝටිසෝල් වැනි හෝර්මෝන නිසා ඉක්මනින් ශුක්‍රාණු පිටවිය හැකියි. ඊට අමතරව එවැනි හෝර්මෝන ශුක්‍රාණු නිපදවීමටද බලපානවා. දිගටම ආතතිය තිබුණොත් දීර්ඝකාලීනව ආදර සබඳතාවලට හා ශුක්‍රාණු නිෂ්පාදනයට බාධා සිදුවෙනවා.
රැකියාවේ සහ වෙනත් කටයුතුවල ආතතිය අඩුකර ගැනීම වගේම පමණට වඩා දරුවකු පිළිසිඳ ගැනීම ගැන ඇති ආතතිය අවම කිරීම ද අත්‍යවශ්‍යයි.
විටමින් ඩී අඩුකම
හිරු එළිය ශුක්‍රාණු නිෂ්පාදනයට ද බලපානවා. හිරු එළියේදී ශුක්‍රාණු සංඛ්‍යාව දෙගුණ තෙගුණ වෙනවා. එපමණක් නොවෙයි නිපදවෙන ශුක්‍රාණු නීරෝගී ද වෙනවා. ඔස්ට්‍රේලියාවේ මඳසරු සායනයකින් කළ අධ්‍යයනයකට අනුව විටමින් ඩී ඌනතාව බොහෝ පිරිමින්ගේ ශුක්‍රාණු හිඟකමට බලපානවා. ඒ නිසා උදෑසන හිරු එළියේ උණුසුම විඳින්න දරුවන් පතන පියවරුන් අමතක කරන්න හොඳ නෑ.
අධික ලෙස මත්පැන් පානය
මත්පැන්වලට අධික ලෙස ඇබ්බැහිවී සිටින්නන්ගේ ශුක්‍රාණු සංඛ්‍යාව අඩුවෙනවා පමණක් නොව ඒ වායේ නීරෝගිභාවය ද අඩුවෙයි. එවැනි ශුක්‍රාණුවලින් පිළිසිඳ ගැනීමකට ඇති ඉඩ අවමයි. ශුක්‍රාණු ඇති කරන සෛල මධ්‍යසාර විසෙන් විනාශවන නිසා ශුක්‍රාණු සංඛ්‍යාව වගේම, ඒවායේ නීරෝගිභාවයද අඩුවෙනවා.
දුම්පානය නවත්වන්න
දරුවකු පිළිසිඳ ගැනීමට අඩුවශයෙන් මාස තුනකටවත් පෙර දුම්පානය නතර කළයුතුයි. දුම් පානයෙන් ශුක්‍රාණු සෛලවල ඩීඑන්ඒවලට බලපෑම් සිදුවෙනවා.
තරබාරුවීම
උසට සරිලන බරකින් යුතු පිරිමියකුට වඩා ස්ථුල පිරිමියකුගේ මඳසරුභාවය වැඩියි. මෙය පිරිමින්ගේ වගේම ගැහැනුන්ගේද මඳසරු භාවයට තරබාරුව හේතුවක්.
තරබාරු පිරිමින්ගේ ඉකිළි පෙදෙස උණුසුම් අතර වෘෂණ කෝෂ ද එනිසා උණුසුම් වෙනවා. එයද දරුපල අඩුකරන හේතුවක්. විවාහයට පෙර තරුණියන් පමණක් නොව තරුණයන්ද උසට සරිලන බරක් පවත්වා ගැනීමට පටන්ගත යුතුයි. මෙවැනි පියවරුන්ට ඩවුන්සින්ඩ්‍රෝම් දරුවන් බිහිවීමේ ඉඩවැඩිය.
ලැප්ටොප් උකුළේ නොතබන්න
ලැප්ටොප් උකුළේ තබා ගැනීමේදී වෘෂණකෝෂ පෙදෙස උණුසුම් වෙනවා. එහි අවසන් ප්රතිඵළය ශුක්‍රාණු සංඛ්‍යාව අඩුවීමයි. ලැප්ටොප් උකුළේ තබා ගැනීම ඔබේ පුරුද්ද නම් ඒ පුරුද්ද නවත්වා මාස තුනකදී ශුක්‍රාණු සංඛ්‍යාව යථා තත්ත්වයට පත් වෙනවා.
අහිතකර ආහාර නොගැනීම
තෙල්, ලුණු, අධික ආහාර ගැනීම ශුක්‍රාණු සංඛ්‍යාවට අහිතකර ලෙස බලපානවා. අමෙරිකාවේ හාවඩ් වෛද්‍ය පාසලෙන් පෙන්වා දෙන පරිදි සන්තෘප්ත මේදය ශුක්‍රාණු ගණනට වගේම ඒවායේ නීරෝගිභාවයට ද අහිතකරයි.
ප්‍රතිඔක්සිකාරක එනම් සිරුරට ඇතුළු වන විස නසන එළවළු පලතුරුවල ඇති අත්‍යාවශ්‍ය රසායන ශුක්රාණුවලටද හිතකරයි. ඒ නිසා වර්ණවත් එළවළු පලතුරු නිතර අධික ලෙසින් කෑමට ගන්න. ඒවායේ විටමින් ඊ, සී වැනි ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගුව තිබෙනවා. පැඟිරි කුලයේ පලතුරුවල විටමින් ‘සී’ බහුලයි. මාළු, වොල්නට්ස් ආදියේ අඩංගු ඔමෙගා 3 වැනි මේදය ද ශුක්‍රාණුවල නීරෝගිභාවය සුරකිනවා.
බොඩි බිල්ඩිං බලපානවා
ස්ටීරොයිඩ් මාසංපේශීන්වල ධාරිතාව වැඩිකරනවා. එනිසා කාය වර්ධනය හෙවත් බොඩි බිල්ඩිං කරන අය ඒවා භාවිත කරනවා. එහෙත් එය ශුක්‍රාණු නිපදවීමට ගැටලුවක් වෙනවා. වෘෂණ කෝෂ මඟින් ටෙස්ටස්ටෙරෝන් හෝර්මෝනය නිපදවන අතර එම ස්වාභාවික නිපදවීමට ස්ටීරොයිඩ බාධාවක්. මේ හේතුවෙන් දරුවන් පතන පිරිමින් මාංසපේශීන් වර්ධනයකර ගත යුත්තේ ව්‍යායාම හා බර ඉසිලීමේ ව්‍යායාමවලින් පමණයි.
රැකියාව - ලෝහ හා ගැටෙන රැකියාවල නිරතවන්නන්ගේ ශුක්‍රාණු ගණන අඩුයි. එවැනි රැකියාවක නිරතවෙනවා නම් කළ යුත්තේ ආරක්ෂක ආවරණ පැලඳ සේවය කිරීමයි.
විදුරුමස් රෝග
විදුරුමස් රෝග ඇති අයගේ බැක්ටීරියා මුඛය හරහා රුධිර පද්ධතියට එක්වේ. එයින් ප්‍රදාහයක් ඇතිවන අතර වෘෂණකෝෂවලටත් එම ප්‍රදාහය බලපායි. මෙයද මඳසරුබවට හේතුවන ප්‍රධාන කරුණක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. දරුවකු පැතීමට පෙර දන්ත ආබාධ සුවපත් කරගන්න. විදුරුමස් රෝග ඇත්නම් ඉක්මනින් ප්රතිකාරගත යුතුයි.
එළවළු කෑමට ගන්න
එළවළුවල ප්‍රෝටීන ශුක්‍රාණුවල සෞඛ්‍යයට ඉතා හිතකරයි. එනිසා ප්‍රෝටීන අඩංගු එළවළු හැකිතරම් කෑමට ගන්න.
ජංගම දුරකථන
කලිසමේ නැතිව කමිස සාක්කුවේ ජංගම දුරකථනය තබා ගැනීම නුවණට හුරුයි. ජංගම දුරකථනයේ විද්‍යුත් කාන්දම් ක්ෂේත්රය ශුක්‍රාණු නිෂ්පාදනයට අහිතකර ලෙස බලපායි.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks