Life
දැන්වත් විසබීජ පෙට්ටිය පෝෂණ පෙට්ටියක් කරගනිමු
නව වසරක උදාව කියන්නේ පොකැට්ටුව සතේටම හිස් කරන කාලයක්. නිවෙස ආදරණීය අමුත්තන්ගෙන්, නෑ හිත මිතුරන්ගෙන් පිරී යන මේ කාලයේ ශීතකරණය ද ඉඳිකටු තුඩකටවත් ඉඩ නැති අන්දමින් පිරී යනවා.
අජීවී වුවත් ශීතකරණය කියන්නේ අපේ සුවසෙත ඉහළ නංවන්න හෝ පහළ බස්සන්න උපකාරී වන උපකරණයක්. එසේ කියන්නේ එහි තැන්පත් කරන ආහාර පාන මෙන්ම ඒ තුළ ජීවත්වන බැක්ටීරියා, වෛරස, දිලීර, ක්ෂුද්‍ර ජීවීන් ද අපේ ශරීර සෞඛ්‍යයට බලපාන නිසයි. ආහාරවලින් ලැබෙන පෝෂණයට ද ශීතකරණයේ තැබීම හෝ නොතැබීම බලපානවා.
* සැම පලතුරක්ම, එළවළුවක්ම ශීතකරණයේ තැබිය යුතුද?
එළවළුවල නැවුම් බව ඒ අයුරින්ම සුරකින්නට ඒවා ශීතකරණයේ තැන්පත් කළ යුතුයි යන්න සෑම ගෘහණියකගේම සිතෙහි ඇඳි රූපයක්. එහෙත් සමහර එළවළු, පලතුරු ශීතකරණයේ තැන්පත් කිරීම සුදුසු නැහැ.
අර්තාපල් ශීතකරණයේ නොතැබිය යුතු බව අප බොහෝ දෙනෙක් දන්නවා. එහෙත් අලිගැටපේර, පිපිඤ්ඤා ශීතකරණයට අනවශ්‍ය පලතුරු, එළවළු බව දන්නේ කී දෙනාද? අංකුර ඇදුණු මුං ඇට නම් අනිවාර්යයෙන්ම ශීතකරණයේ තැබිය යුතුයි.
තක්කාලි, සුදුලුනු, ශීතකරණයේ තැබීම එහි ගුණයට සහ රසයට බාධාවක් වෙනවා.
* ශිතකරණයේ තැබිය යුතු ආහාර
කපන ලද පලතුරු, මිදි, ස්ට්‍රෝබෙරි ඇතුළු බෙරි වර්ග, බෝංචි, ගෝවා, කැරට්, ගෝවා මල්, සැල්දිරි, කපන ලද
එළවළු, සලාද, බිම්මල්, රාබු, නිවිති, පීස්.
* ශීතකරණයේ නොතැබිය යුතු ආහාර
ඇපල්, අලිගැටපේර, කෙසෙල්, කැන්ටලුප්, ග්‍රේප් ෆෘට්, කිවි, ලෙමන්, ලයිම්, අඹ, දොඩම්, ගස්ලබු, පීච්, පෙයාර්ස්, ප්ලම්ස්, දෙළුම්, කොමඩු, පිපිඤ්ඤා, වියළි ලූනු, සුදුලූනු, ඉඟුරු, අර්තාපල්, වට්ටක්කා, බතල, තක්කාලි.
ඇතැම් පලතුරු ශීතකරණයේ තැබීමෙන් ඉදීමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදු වන්නේ නැහැ. එය රසයට ද බලපායි.
කෙසෙල් ශීතකරණයේ තැබූ විට ලෙල්ල කළු පැහැ වෙනවා. බතල දැඩි වෙනවා. කොමඩුවල දීප්තිමත් පෙනුම අහිමි වෙනවා. ඒවා කාමර උෂ්ණත්වයේ තැබීම වඩාත් සුදුසුයි.
පෙයාර්ස් රස දිවට හොඳින්ම දැනෙන්නේ ශීතකරණයේ නොතබා ඉදවූ විටය.
එළවළු හා පලතුරු ශීතකරණයේ සමීපව නොතබන්න. එළවළුවලට වඩා පලතුරුවලින් එතිලීන් වැනි වායුන් නිකුත් වෙනවා. එවිට වන්නේ නියමිත කාලයට පෙර එළවළු ඉදීමයි.
චොකලට් උත්සව සමයේ නිල නාමයක් වගෙයි. චොකලට්, චොකලට් පාන, චොකලට් ආහාරවලට හොඳ ඉල්ලුමක් තිබෙනවා.
බොහෝ මිල්ක් චොකලට් වසරක් ද, ඩාක් චොකලට් දෙවසරක් ද තබා ගත හැකියි. ඒවා හිරු එළියට තෙතමනයට නිරාවරණය නොවන සේ තැබීම වැදගත්. ශීතකරණයේ චොකලට් තැන්පත් කරන විට වාතය ඇතුළු නොවන සේ වැසිය හැකි බඳුනක ඇසිරීම වැදගත්. ශීතකරණයේ තැබූ චොකලට් ආහාරයට ගැනීමට පෙර කාමර උෂ්ණත්වයට පැමිණෙන තුරු ආහාරයට නොගන්න. සීත කළ චොකලට් දිය නොවන අතර නිසි රස ද විඳින්න බැහැ.
බිත්තර ශීතකරණයේ තැබිය යුතුද? නැද්ද? මෙය කාලයක් පුරා මතභේදයට ලක් වූ කරුණක්. බිත්තර කියන්නේ
පෝෂණ ගබඩාවක්. ඒ නිසා පෝෂණය සුරැකෙන ලෙස ආහාරයට ගන්නා තුරු තැබීම ඉතා වැදගත්. බිත්තර සැබැවින්ම තැබිය යුත්තේ ශීතකරණයේයි.
බිත්තර සැල්මොනෙල්ලා බැක්ටීරියාවෙන් ආසාදිත වී තිබුණා නම් කාමර උෂ්ණත්වයේදී කිහිප ගුණයකින් වර්ධනය වෙනවා. එහෙත් ශීතකරණයේදී වර්ධනය වන්නේ නැහැ. ශීතකරණයේ නොතැබුවාට තක්කාලි හිරු එළිය නොවැටෙන සේ තැබීම වැදගත්.
අර්තාපල් කඩදාසි බෑගයක දමා, අඳුරු තැනක ගබඩාකර තබන්න. සියලුම අල වර්ග තැබීමට සුදුසු එම ක්‍රමයයි. ශීතකරණයේ තැබූ විට අර්තාපල්වල පිටි ඉක්මනින් සීනි බවට පත් වෙනවා. ගුණ වගේම රසත් වෙනස් වෙනවා.
ලූනු තැන්පත් කළ යුත්තේ හොඳින් වාතාශ්‍රය ඇති තැනකයි. ශීතකරණයේ වාතාශ්‍රයක් නැහැ. හිරු එළියට ලූනුවලට තිත්ත රසක් එක් වෙනවා.
ශීතකරණයට දමන එළවළු, පලතුරු නොසේදීම ඉතා වැදගත්. සේදූ විට ඉක්මනින් නරක් වෙනවා.
කිරි නිෂ්පාදන සැමවිටම ඇසුරුම් පිටින්ම ශීතකරණයේ තැන්පත් කරන්න. චීස් හොඳින් ඔතා තිබිය යුතුයි.
පාන් කාමර උෂ්ණත්වයේ තැබිම වඩාත් සුදුසුයි. වාතය නොයන සේ ප්ලාස්ටික් බෑගයක තැබීමෙන් පාන් ඉක්මනින් වියළීමෙන් වළකිනවා.
කෝපි ශීතකරණයේ නොතැබිය යුතු කුඩු වර්ගයක්. බොහෝ කේක් වර්ග සඳහා ශීතකරණය අවශ්‍ය වන්නේ නැහැ.
මීපැණි නරක් නොවන එකම ස්වාභාවික ආහාරයයි. එය කිසිසේත්ම ශීතකරණයේ තැබිය යුත්තක් නොවෙයි. කොමඩු ශිතකරණයේ නොතබා වියළි තැනක තැබීමෙන් ගුණය වගේම රසයත් තබා ගත හැකියි.
කෙචප්, මස්ර්ඩ් ශීතකරණයේ නොතබා මාසයක් වුවත් තබන්න පුළුවන්. ඒවායේ බැක්ටීරියා වර්ධනය වළක්වන ද්‍රව්‍ය අඩංගුයි. හාල් කාමරයේ උෂ්ණත්වයේ තැබිය හැකි නමුත් බත් ශීතකරණයේ තැබිය යුතුයි. කෑම පිසින තෙල් (කුකිං ඔයිල්) කාමර උෂ්ණත්වයේ තැබිය හැකියි.
ආහාර නැවුම් ලෙස ගැනීම ආහාරයේ අඩංගු සියලු
පෝෂක ඒ අයුරින්ම තබා ගැනීමට කළ හැකි හොඳම දෙයයි. ශීතකරණයේ තැබිය යුත්තේ අත්‍යාවශ්‍ය ආහාර පමණයි.
Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks