Life
දරුවන්ට දිය යුතු තුන්වේල
උදේට – කවුපි හෝ මුං ඇට සමග කට්ට සම්බලයක්
දහවලට – බත් සමග එළවළු කොළ පලා පලතුරු කොස්
රාත්‍රියට – කුරක්කන් පිට්ටු හාල් පිටි ඉඳිආප්ප
ඔක්තෝබර් මාසය පටන් ගන්නේ ළමයින් පිළිබඳ කතා බහිනි. මේ තාක් කවුරුත් කතා කළේ දැනුම, කුසලතා, ආකල්පවලින් වැඩි දියුණු වූ අනාගත දරු පරපුරක් ගැනය. ලෝක ළමා දිනයේදීත් බොහෝ අය කළේ හොඳම දේ අපේ දරුවන්ටයි කියමින් කතා කිරීමය. මොනවද මේ හොඳම දේ? දැනුම කුසලතා ආකල්ප ආදියෙන් සන්නද්ධ වූ පමණින් අපගේ දරුවා පරිපූර්ණ වුවත් ඔවුන් ශක්තිමත් නිරෝගී පරපුරක් නොවුණොත් රටේ අනාගතය කෙබඳු වේද? දරුවන්ට වඩාත් නිවැරදි මෙන්ම පෝෂණ ගුණයෙන් අනූන ආහාර ලබා දිය යුත්තේ මේ නිසාය. ඒ අනුව ඔවුන් බොහෝ රෝගවලින් බේරාගත හැකිය.
වර්තමානයේ අපගේ දරුවෝ නිරන්තරයෙන් රෝගවලට ගොදුරු වෙති. පාසල් ළමයිද බෝවන රෝගවලින් මෙන්ම බෝ නොවන රෝගවලින් ද පීඩා විඳිති. නාගරික ප්‍රදේශවල ළමයින් අතුරින් 16කට ආසන්න ප්‍රමාණයක් දියවැඩියාවෙන් පෙළෙති. ඊට අමතරව අධික තරබාරුව, මන්ද පෝෂණය, ප්‍රතිශක්ති ඌනතා, පිළිකා, වකුගඩු රෝග, අම්ල පිත්තය, රක්ත හීනතාව, ඇදුම, නිරන්තර උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගවලට ගොදුරු වෙති. ඉහත දැක්වූ බොහෝ රෝග වැලඳෙනුයේ අප ගන්නා ආහාරවලිනි. විසඳුම වන්නේ මනා පෝෂණ ගුණයෙන් යුතු විවිධ ආහාර ලබා දීමයි. එමගින් දරුවාගේ මතක ශක්තිය ක්‍රීඩා කිරීමේ හැකියාව හා අස්ථි වර්ධනය, ශක්තිය, ලෙඩ රෝගවලින් ආරක්ෂාවීමට ඇති හැකියාව ආදිය වර්ධනය කෙරෙයි.
වර්තමානයේ අපගේ මවුවරු දරුවාගේ පෝෂණය සම්බන්ධයෙන් මිථ්‍යා මතවල අතරමං වී සිටිති. පවතින වාණිජකරණය වූ සමාජය මත පටවා ඇති වැරදි ආකල්ප බොහෝමයක් අපගේ මව්වරුන්ගේ සිත්හි හොල්මන් කරයි. මේවාට දරුවන්ට ආහාර ලබාදීමට අදාළ වෙළෙඳ දැන්වීම් විශේෂයෙන් බලපායි. මේ නිසාම දරුවාට ලබා දිය යුත්තේ කුමන ආහාරදැයි මව්වරු නිසියාකාරව නොදනිති. අප බොහෝ විට කරනුයේ දරුවාගේ දිව පිනවීමට සහ කුස පිරවීමට ආහාර ලබා දීමයි. මේ නිසාම දරුවා වැඩි කාලයක් නොගොස්ම එම ආහාර රටාවට හුරු වෙයි. පසුව දරුවාගේ සෞඛ්‍යයට හිතකර ආහාර ලබා දුන් විට දරුවා අකැමැත්තක් දක්වන්න පුළුවන. එබැවින් දරුවා යහපත් ආහාර රටාවකට කුඩා කාලයේ සිටම පුරුදු පුහුණු කළ යුතුය. ඒ වෙනුවෙන් මව්වරුන්ට කාලය කැප කිරීමට සිදුවෙයි. තම එදිනෙදා රාජකාරි කරන අතරතුරම දරුවාගේ ආහාර රටාව පවත්වා ගැනීමටද අවධානය යොමු කළ යුතුය. ඒ සඳහා ඉඩහසර වෙන් කරවා ගැනීමට මවට හැකියාව තිබිය යුත්තේය.
නවීකරණය, වාණිජත්වය ආදිය හේතු කොටගෙන අපගේ ආහාර රටාව වෙනස් වූ බව සැබෑය. විශේෂයෙන් බටහිර ජාතීන්ට අප යටත් වූ පසු ඔවුන්ගේ ආහාර රටාව අනුගමනය කිරීමට පෙලඹීම නිසා සාම්ප්‍රදායික පෝෂණීය අගයෙන් අනූන වූ අපගේ ආහාර රටාව දුප්පතුන්ගේ නොවැදගත් ආහාර රටාවක් බවට ඇද වැටිණ. මේ හේතුව නිසාම බටහිර පන්නයට ආහාර ගැනීමට අප සිංහල සමාජය තුළ නව පන්තියක් ගොඩනැගුණේය. එය හැම්, බේකන්, චීස් කන සමාජ පන්තියක් ලෙස හැඳින්වූවාට වරදක් නැත. පසුව සිදුවූයේ අනෙකුත් සමාජ පන්තීන්ද එම හැම්,බේකන් චීස් කන පන්තියට අනුගත වීමට උත්සාහ දැරීමයි. මෙකී උච්චතම අවස්ථාව අද හොඳින් දැකිය හැකිය. ප්‍රධාන නගර තුළ පාසල් අවට සුපිරි යැයි හැඳින්වෙන අවන්හල් කොතෙකුත් ඇත. ඒවායේ අලෙවි වනුයේ හුදෙක් දිව පිනවීම හා කුස පිරවීම අරමුණු කොටගත් ආහාර පමණි. අවන්හල් තුළට ගොඩවදින දරුවන්ට මිලෙන් අධික නමුත් පෝෂණ ගුණයෙන් හීන වූ ආහාර ගැනීමට සිදුවීම නිසා උරුම වනුයේ රෝග සමුදායක් පමණි. මෙහි ඇත්තේ හුදු ආකල්පමය ගැටලුවකි. උදෑසන ආහාරයට රතු කැකුළු බත් සමග පොල් සම්බෝලයක් ඇති විට එය දුප්පත් ආහාරයක් ලෙස සැලකීමට තරම් අප සමාජය වෙනස් වී ඇත. මෙය නිවැරදි නැත. නිවැරදි අයුරින් දරුවාගේ පෝෂණ පත එසේත් නැතිනම් ආහාර වේල සකස් කරගන්නේ කෙසේද යන්න අපි විමසා බලමු.
පුද්ගලයකුගේ වැදගත්ම ආහාර වේල වනුයේ උදෑසන ආහාර වේලයි. සාමාන්‍ය ව්‍යවහාරයේ උදෑසන ආහාර වේල රජකු ලෙස ගත යුතු යැයි පවසන්නේ එහෙයිනි. උදෑසන ආහාරවේල වඩා පෝෂ්‍යදායී ලෙස ගත යුත්තේ ඇයි? අප උදෑසන ආහාර වේල ගන්නේ අවම වශයෙන් පැය 10කට පමණ පසුවය. දවසේ වැඩකටයුතු ආරම්භ කිරීමට පෙර අපට අවශ්‍ය ශක්තිය ලැබෙනුයේ උදෑසන ආහාර වේලෙනි. එහෙයින් එය පෝෂණ ගුණයෙන් අනූන එකක් වීම අනිවාර්ය වේ. උදේ ආහාරවේල කිරිපිටි වීදුරුවකින් පාන් හෝ වෙනත් කෙටි ආහාරයකින් යුතු නම් ඉන් ශරීරයට අවශ්‍ය නිසි ශක්තිය ලැබේද? ඒ තබා දරුවාගේ උදෑසන ආහාර වේල කිරිපිටි වීදුරුවකින් ආරම්භ කරන්නේ නම් එය මහත් ව්‍යසනයකට හේතු වන්නේය. බොහෝ දරුවන්ට මෙම කිරිපිටි වීදුරුව ජීර්ණය කර ගැනීමට සැලකිය යුතු වේලාවක් ගත වෙයි. ඒ නිසා දරුවාට වෙනත් ආහාරයක් ගැනීමට ඇති රුචිය සහ බඩගින්න නැති වී යයි. එසේම දරුවාට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටකයන් බොහොමයක්ද නොලැබි යයි. එබැවින් උදෑසන ආහාර වේල සඳහා අනිවාර්යයෙන් දරුවාට බත් සමග එළවළුවක් හෝ වෙනත් තම්බන ලද ධාන්‍ය වර්ගයක් ලබාදීමට සෑම විටම උත්සාහ ගන්න. උදෑසන කිරිපිටි වීදුරුව වෙනුවට නැවුම් එළකිරි ගැටතුඹ මුල්, ඉඟුරු, ගම්මිරිස් දමා උණු කර දීමට හෝ කොළ කැඳ දීමට පුරුදු වන්න.
කොළ කැඳ දීම පිළිබඳව මීට පෙර අප සාකච්ඡා කර ඇත. එසේත් නැතිනම් උදේට කුරහන් කැඳ සමග බතල වැනි අල වර්ගයක් ලබාදීමද ඉතා වැදගත්ය. එය සරල මෙන්ම වැඩි කාලයක් ගත නොකර සකසා ගත හැකි ආහාර වේලකි. උදෑසන ආහාර සැකසීමට කාලය අඩු නම් රාත්‍රී කාලයේදී ඒවා පිසිය හැකි අන්දමට සකස් කර තබා උදෑසන ආහාර සකස් කර දීම ද කළ හැකි වේ. උදෑසන ආහාර වේලට කව්පි, මුංඇට වැනි ආහාරද පොල් හා සුදු ලූනු මිශ්‍ර කට්ට සම්බෝලයක් දීමද වඩාත් ගුණදායකය. විශේෂයෙන් උදෑසන ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමේදී සුදු ලූනු මිශ්‍ර කට්ට සම්බෝලයක් ගැනීමෙන් බඩ පුරවා දැමීම අවම කර ගත හැකිය.
වර්තමානයේ දරුවන්ට අම්මාවරුන් විසින් බොහෝ විට ලබාදෙනුයේ සොසේජස් වර්ග, මාංසවලින් කරන ලද ආහාර වර්ග, පාන් පිටිවලින් කරන ලද ආහාර වර්ග ආදිය වේ. මේවාට යොදන විවිධ රසායනිකයන් හා කල් තබා ගැනීමේ රසායනිකයන් බොහෝ විට පිළිකා කාරක විය හැකි වේ. දරුවා පිළිකාව නමැති මාරයාගෙන් ගලවා ගැනීමට මෙකී ආහාර දීම නතර කළ යුතුය. විශේෂයෙන් ක්ෂණික නූඩ්ල්ස් වර්ග ඉතාමත් අහිතකරය. මේවායෙන් බඩ පිරෙනවා සැබෑ මුත් දරුවාට සෞඛ්‍යමය වශයෙන් ලැබෙන වාසිය අල්පය. තවද යීස්ට් වැනි පිපුම් කාරක යොදන ලද බේකරි නිෂ්පාදනද දරුවාට ඉතාමත් අහිතකරය. මුලදී බේකරි නිෂ්පාදනවලට පිපුම් කාරක ඉතා අල්ප වශයෙන් යෙදුවත් වාර්තමානයේ ඉක්මනින් ක්‍රියා කරන විවිධ පිපුම් කාරක බහුලව එකතු කරනු ලැබේ. එහෙයින් අනුභවයෙන් පසු උදරයේ ආම්ලිකතාව බඩ පුරවා දැමීම හා මලබද්ධය ඇති වෙයි. මේ හේතුව කරණ කොට ගෙන දරුවාට පාසල් අවස්ථාවේදී හිසරදය ඇතුළු විවිධ සංකුලතා මතුවීමට ඉඩ ඇත.
අප කියන්නේ දරුවාට ආහාර පිණිස තුන් වේලටම බත් දිය යුතු බව නොවේ. උදෑසන ආහාරය සඳහා දරුවාට සතියේ දින හතේදීම විවිධත්වයකින් යුතු ආහාර ලබා දෙන්න. එහිදී උදෑසන ආහාරයට කොළ කැඳ කුරක්කන් කැඳ, බතල, මඤ්ඤාෙක්කා සහ වෙනත් අල වර්ගද නැවුම් එළකිරි. බත් සමග මාළු පලාමැල්ලුමක් හෝ සම්බෝලයක් හා වෙනත් ව්‍යාංජනයක් සුදුසුය. උදෑසන ආහාරයේදී රතු කැකුළු බත් සමග පොල් සම්බෝලය වුවද ප්‍රමාණවත් වන්නේ පොල්වල අපට අවශ්‍ය බොහෝ පෝෂ්‍ය සංඝටකයන් අඩංගුව ඇති බැවිනි. උදෑසන ආහාරයට කිරිබත් වුවද පෝෂ්‍යදායීය. මේ ආකාරයෙන් සතියේ දිනවලදී විවිධත්වයකින් යුතුව උදෑසන ආහාරවේල ලබාදීමට කුඩා කල සිට පුරුදු පුහුණු කිරීමෙන් දරුවා තම නිවසේ සාදන ආහාරවලට මුල් තැනක් දීමට පුරුදු වෙයි. එසේම මස් වර්ග අනුභව නොකරන දරුවන්ට විශේෂයෙන් කතුරුමුරුංගා, මුරුංගා දලු, තිබ්බටු වැනි ආහාර විශේෂයෙන් ලබාදිය යුතු වේ. වම්බටුවලින්ද බිත්තරවලින් ලද හැකි ගුණය ලබාගත හැකි බව පැරණි කියමනකි.
වැසි සහිත ශීත කාලවලදී බොහෝවිට සෙම උපදවන ආහාර දීමෙන් වැළකීමටද ඌෂ්ණ කාලවලදි උෂ්ණාධික යැයි සම්මත ආහාර වර්ග නොදීමටද වගබලා ගත යුතුය.
අද දරුවාගේ දහවල් ආහාර වේල පිරිමැසෙනුයේ බනිස් ගෙඩියකිනි. වෙනත් පාන් පිටි ආශ්රිත නිෂ්පාදනයකින් හා කෙටි ආහාරයකිනි. මේවායින් දරුවාගේ වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය සංඝකටයන් නොලැබෙන බව අප සිතට ගත යුතුය. එබැවින් බත් සමග වෙනත් එළවළු කොළ පලා, පලතුරු ආදියෙන් සපිරුණු ආහාර වේලක් දවල්ට දරුවාට ලබා දිය යුතුමය. මන්ද යත් උදෑසන සිට මනස පමණක් නොව ක්‍රීඩාවේදී කයද වෙහෙසවා ඇති දරුවාට දහවල් ආහාරයද ඉතා පෝෂ්‍යදායී අන්දමින් ලබාදිය යුතු නිසාය. තම්බන ලද කොස් පවා දවල්ට ඉතා පෝෂ්‍යදායී වේ. එසේ වුවද හැදෙන වැඩෙන දරුවාට තුන්වේලට බත් දීමේ කිසිදු වරදක් නැත.
දරුවාගේ දහවල් ආහාරය මග හැරෙනුයේ බොහෝ විට උදය සහ දහවල් අතරතුර දරුවාට ලබා දෙන තෙලෙන් බදින ලද කෙටි ආහාර බිස්කට් වර්ග ආදිය හේතුවෙනි. මේ නිසා සැබැවින්ම දහවල් ආහාරය සඳහා ඇති රුචිකත්වය හා කුසගින්න නැති වී යයි. අධ්‍යාපනික කාර්ය බහුලත්වය නිසාම ඉහත කාරණාවන් හේතු කොට ගෙන දහවල් ආහාර වේල මගහැරීම නිසා කල් යත්ම දරුවාට අම්ල පිත්තය වැනි රෝග හටගැනීමට ඉඩ තිබේ. දරුවාගේ අමතර ආහාර වේල වෙනුවෙන් බොහෝ විට පලතුරු ගෙඩියක් ලබාදීමට හැකි නම් එය ඉතා අගනේය. දරුවාටද සෞඛ්‍යමය හා පෝෂණීය ලෙස ඉතා වැදගත් වේ. කෘත්‍රිම බිම වර්ග වෙනුවට ගෙදර හදන ලද පලතුරු යුෂ වීදුරුවක් ඉරමුසු බෙලිමල් වැනි පානයක් දිවුල්, බෙලි වැනි පලතුරක් දරුවාට දීම වඩාත් වැදගත්ය.
රාත්‍රී ආහාරවේල පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ රාත්‍රී ආහාරයට පාන් පිටි හෝ ඒ ආශ්රිත ආහාර ලබා දීමෙන් දරුවාට මලබද්ධය ඇති වීමට බොහෝ දුරට ඉඩකඩ වැඩිය. එවැනි අයට පසුදා උදෑසන බොහෝ දුරට වැසිකිළි යෑමට පවා අපහසුය. එහිදී සිදුවන අහිතකර ප්‍රතිඵලය නම් පසුදා පාසලේදී ඉතා අසහනකාරී ලෙස දවස ගෙවීමට සිදුවීමයි. බොහෝ දරුවෝ පාසලේදී වැසිකිළි යෑමට ඇති අකැමැත්ත හා මලවේගය ධාරණය කර ගැනීම හේතුවෙන් හිසරදය මෙන්ම වෙනත් බොහෝ රෝගද හදා ගනිති. දරුවාට රාත්‍රී ආහාරය සඳහා තන්තු සහිත දිරවීමට පහසු සරල හා පෝෂ්‍යදායී ආහාරයක් ලබා දිය යුතුය. එහිදී අවන්හල්වලින් රැගෙන එන කොත්තු රොටි, පරාටා, ප්‍රයිඩ් රයිස් වෙනුවට ගෙදර සාදන ලද ආහාරයක් ලබා දෙන්න. පිට්ටු, කුරක්කන් පිට්ටු, හාල් පිටි ඉඳිආප්ප වැනි ආහාරයකට යොමු කරන්න.
අපගේ අනාගතය අද අපගේ දරුවායි. ඔහු ගුණයෙන් නුවණින් බැබළෙන්නට නිරෝගීව ජීවත් වීමට මග කියා දීම දෙමාපියන් වන අපගේ යුතුකමකි. අපගේ දේශීය ආහාර වෙනුවෙන් ඇති සෘණාත්මක ආකල්ප වෙනස් කර ගැනීමට ඔහුට උදව් කරන්න. ක්‍රියාශීලී ජීවිතයකට අවශ්‍ය ආහාර පිළිබඳව ඔහුව දැනුවත් කරන්න. අලසකමින් පිරුණු සමාජයක් වෙනුවට ක්‍රියාශීලී බුද්ධිමත් නිරෝගී පරපුරකට අවශ්‍ය ආහාරමය ශක්තිය ඔහුට ලබා දෙන්න. එවිට ඔහු ලෝකය ජය ගනීවි.
දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ
කථිකාචාර්ය / මාලේවන ශ්‍රී ඥානිස්සර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය
rivira.lk