මිථුනය මනුෂ්‍ය රාශියකි. වාතයට කාරක වන මෙම රාශියේ අධිපතියා වන්නේ බුධ ග්‍රහයාය. "බුධ" යනු ඥානයට අධිපතියා වන අතර නපුංශක ග්‍රහයකු ලෙස ජ්‍යෙdතිෂයේ හඳුන්වාදී ඇත. එසේ වුවද මෙය පුරුෂ රාශියකි.
මෙම ලග්නයෙන් උපත ලද ඔබ මනුෂ්‍ය ජීවිතය පිළිබඳව මනා අවබෝධයක් ඇත්තෙකි. මානුෂික ගති ලක්ෂණ මෙන්ම අනුකම්පා සහගත සිතක් ද ඔබට උපතින් ලැබී ඇති බැවින් ඔබ මානව දයාවෙන් යුක්ත වූ අයෙකු ලෙස හඳුන්වා දිය හැකිය.
p17 1තැනට සුදුසු අයුරින් කටයුතු කිරීමට ඔබ තුළ ඇත්තේ මහඟු දක්ෂතාවකි. එමෙන්ම ඔබ බොහෝ දේ දන්නා අයෙකි. ඔබ පිළිබඳවත්, ඔබ වටා සිටින මනුෂ්‍යයන් ගැනත් ඔබ දැඩි ලෙස විමසිලිමත් වන අතර රට තොට හා ලෝකය සම්බන්ධවද තොරතුරු ගවේෂණය කිරීම ඔබගේ ස්වභාවයයි. සමහර දේ ඔබ නොදන්නවා වුවත්, දන්නා ලෙස කතා කරමින් ජාම බේරා ගැනීමට තරම් ඔබ තුළ ඇත්තේ මනා හැකියාවකි.
ඔබ කතාවට හා දොඩමලු වීමට බොහෝ කැමැත්තක් දක්වන අතර ඔබගේ කතා විලාශයට අසා සිටින්නන් වසඟ වන බවක් දැක ගත හැක. එය ඔබ තුළින් දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයකි. ඔබගේ කතාව ඒ තරමටම ආකර්ෂණීය බවකින් යුක්තය.
නිතර අදහස් වෙනස් කරන ඔබ, පටන්ගත් වැඩය පසෙක තබා අලුතින් තවත් වැඩ භාරගන්නා අතර එනිසාම කලට වේලාවට එක් වැඩක් හෝ නිම කරන්නේ නැත. එය ඔබ සතු දුර්වලකමක් ලෙස පෙන්වා දිය හැක. හිතා මතා සැලසුම් සහගතව වැඩ නොකිරීමෙන් වැඩ කල් යැමත්, වැඩ ගොඩගැසීමත් හේතුවෙන් සිතට සැනසීම අඩු වනු ඇත.
ඔබ විවිධ දක්ෂතා රාශියක් පොදිබැඳගෙන උපත ලද අයකි. අන් අයව සතුටු කිරීමේ මනා හැකියාවක් ඔබ තුළ සහජයෙන්ම පිහිටා ඇත. හාස්‍ය උපද්දන කතා කීමට ඔබ තුළ ඇත්තේ උපන් හපන් කමක් වන අතර ඔබගේ විනෝද කතාවලට සිනහ නොවී සිටින අයකු වේ නම් ඒ බිහිරකු පමණි. ඒ තරමටම ඔබේ කතා ඉතා රසවත්ය.
ඔබ සමහර අවස්ථාවලදී වැඩ කටයුතු ගොඩගසා ගත්තද, ප්‍රමාද වී හෝ ඒවා සාර්ථකව නිමකරනුයේ අන් අයට වඩා ක්රමානුකූල අයුරින් වීම විශේෂත්වයකි. එමෙන්ම මිථුන ලග්නයෙන් උපන් ඔබට ඕනෑම දෙයක් ඉක්මනින් තේරුම් ගත හැකිය. සාමාන්‍යයෙන් ඔබ බුද්ධිමත් අයකු වන අතර කාර්ක්ෂම හා ඵලදායී අන්දමින් ක්‍රියාත්මක වුවහොත් සාර්ථකත්වය කරා ඉක්මනින් ගමන් කිරීම ඔබට එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත.
ඇත්ත වශයෙන්ම ඔබ තුළ ඇත්තේ නිදහස් චින්තනයකි. කිසිවෙකුට හෝ යටත් වීමට ඔබ අකමැති වූවද, බොහෝ විට ඔබට වඩා උසස් අයකුගේ අධීක්ෂණය යටතේ සේවය කිරීමට අවස්ථාව ලැබේ නම් ඔබගෙන් උපරිම සේවයක් ආයතනයට ලබා ගැනීමට පුළුවන. අනික් කාරණය නම් ඔබට රැකියාවන් දෙකක එකවර යෙදීමේ හැකියාවක් උපතින්ම ලැබී තිබීමයි. එසේ වීමට ප්‍රධාන හේතුව වනුයේ ඔබේ ලග්නය වන මිථුනය ද්විස්වභා (උභය) රාශියක් වීමය.
මිථුනය උභය රාශියක් වීම හේතුවෙන් ඔබේ සිතිවිලි පවා වරින්වර චංචල වනු ඇත. නිතර අදහස් වෙනස් කරන ඔබ, ගන්නා තීරණයන් පවා අවසාන මොහොතේ වෙනස් කරනුයේ කිසිවකුත් නොසිතූ ලෙසිණි. එම දෙබිඩි ගතිය ඔබෙන් එළියට පනිනුයේ ද ඔබටත් හොරාය. විටෙක ඔබ කලබලයෙන් ක්‍රියාකරන අතර තවත් විටෙක ඉතා සන්සුන්ව සීරුවට මාරුවට කටයුතු කරනු දැකගත හැක.
අනුන්ගේ ප්‍රශ්න හමුවේ සාමදාන විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වන ඔබ ත්‍රාස්‍යජනක අවස්ථා නැරඹීමටත්, එවැනි අවස්ථාවලට මුහුණ පෑමටත් දක්වනුයේ මහත් රුචිකත්වයකි. ඇත්ත වශයෙන්ම මිථුනයෙන් උපන් ඔබ වැන්නවුන්ට නීති මගින් හෝ පුරුදු මගින් බැඳ තැබීමට නම් නොහැකි බව විශ්වාසයෙන් පැවසිය හැක.
බුද්ධියට අධිපති මිථුනයේ පාලක ග්‍රහයා වන බුධ, සියුම් කරුණු අධ්‍යනයට හා වෙනත් භාෂා ඉගෙනුමට ද කාරක වන අතර විශේෂයෙන් ගණිතය විෂයට ඔබ දක්ෂයකු බවට පත් කරවනු ඇත. තර්කානුකූලව සිතීමට උපන් හපන්කම් පෙන්වන ඔබට මනා ස්මරණ ශක්තියක්ද උපතින්ම පිහිටා ඇත. එසේ වුවද එකම දෙයක දිගින් දිගටම රැඳී සිටීමට ඔබට නොහැකිය. එය උභය රාශියක නෛසර්ගික ගතිය ලෙස පෙන්වා දිය හැක.
සමාජයේ සිටින ඕනෑම තරාතිරමක අයකු සමඟ වුවත් ඔබට කටයුතු කිරීමට අපහසු නැත. එමෙන්ම තම රැකියා ස්ථානයේදී විවිධ පුද්ගලයන් සමඟ ඔබට කටයුතු කිරීමට සිදුවුවද, ඔබ දක්ෂ ලෙස ඔවුන්ගේ ස්වභාවයන් තේරුම් ගෙන කටයුතු කිරීමෙන් සියල්ල පහසු කරගනු ඇත.
මිථුනයෙන් උපන් ඔබ සෑම දෙයක් පිළිබඳවම සිතනුයේ ඉතාම සැහැල්ලුවෙන් වීම විශේෂත්වයකි. තම ජීවිතය ද ක්‍රීඩාවක් සේ සිතන ඔබ කිසිම දෙයක් බරපතළ ලෙසින් ගණන් නොගනී. එහෙත් තමාට සිතුනහොත් කණ්ඩායමකට නායකත්වය දීමට වුවද ඔබට හැකියාව ඇත. සිතට ගතහොත් ඕනෑම කටුක හා ව්‍යාකූල තත්ත්වයක් වුවද විඳ දරා ගැනීමට පුළුවන.
වෘෂභ, සිංහ, වෘශ්චික හා මකර යන ලග්න හිමියන්ගෙන් මිථුනයෙන් උපන් ඔබට වාසිදායක තත්ත්වයක් උදාකර ගත හැක. අන් ලග්නවලින් උපන්නවුන්ට වඩා මිථුනය පිළිබඳව දැඩි උනන්දුවකින් හා දයාබරබවකින් ඉහත ලග්න හිමියන් කටයුතු කරනු පෙනේ.
ඔබට එල්ල වන ඕනෑම අභියෝගයක් ජය ගැනීමේ හැකියාව හා ශක්තිය ඔබ උපතින්ම ලබා ඇත. කිසියම් ගැටලුකාරී හෝ අර්බුදකාරී අවස්ථාවකදී එය පැන නැගීමට හේතුව අවබෝධකර ගැනීමේ විචක්ෂණ බුද්ධියක් ඔබට තිබේ. එමෙන්ම තීක්ෂණ බුද්ධිමය හැකියාව හේතුවෙන් හා දක්ෂ කථිකත්වය තුළින් එම අභියෝගයන් ඉතා පහසුවෙන් ජයගනු ඇත.
වාද විවාදවලට පැටලීමට ඔබ තුළ ඇත්තේ පුදුමාකාර වූ රුචිකත්වයකි. කිසිම චකිතයකින් හෝ බියකින් තොරව එවැනි අවස්ථාවන්ට දක්ෂ ලෙස මුහුණ දෙන ඔබ ඉතා සාර්ථක අයුරින් කරුණු පෙළ ගස්වමින් ජයග්‍රහණය කරා ගමන් කරනුයේ තම ප්‍රතිවාදියාට හෝ ප්‍රතිවාදී කණ්ඩායමට ආකර්ෂණීය සිනහවකින්ද සංග්‍රහ කරමින් වීම විශේෂත්වයකි.
මිථුනයෙන් උපත ලද ඔබ ලෝභී පුද්ගලයකු නොවේ. තම සිත දිනාගෙන ඕනෑම අයෙකු වෙනුවෙන් පැනලා උදව් කරන ගතියක් ඔබ තුළ තිබේ. එනිසාම සමහර අවස්ථාවලදී තමා සන්තකයේ ඇති මිල මුදල් විය පැහැදම් වූ ආකාරය පවා ඔබට සිතා ගැනීමට අපහසු විය හැක.
ඔබගෙන් උදව් උපකාර ලබන්නන්ගෙන් පෙරළා උදව් උපකාරයක් නොමැති බව තේරුම් ගත් විට ඔබ කරනු ලබන උපකාරයන්ද හෙමිහිට නවතා දමන අතර ඔහුගෙන් සදහටම ඈත් වීමට සිතා ගනු ඇත. කෙටියෙන් පවසතොත් ඔබ අනුනට උදව් කිරීමට පෙළඹෙනුයේ කිසියම් වාසිදායක තත්ත්වයක් තමාටද ඔහුගෙන් හෝ ඇයගෙන් හිමිවේ නම් පමණකි.
මිථුන ලග්නයෙන් උපත ලද ඔබට මුදල්වල අවශ්‍යතාව තදින් දැනෙන විට අනුනට යටත් වීමට සිදුවෙතැයි බියක් සිතට මෝදු වෙයි. එම නිසාම තමා අසරණ වීමට පළමුව මුදල් හදල් රැස්කර තබා ගැනීමට මහත් උත්සහයක් දරනු ඇත. වියදමට මුදල් නොමැති බවක් දැනෙන විට තම හිතවතකුගෙන් හෝ ඉල්ලා ගැනීමට ඔබ මොහොතක්වත් මැළිවන්නේ නැත.
සමහර විට ඔබ තරුණ වියේදී දෙමාපියන්ගේ මිල මුදල් තරමක් නාස්තිකාර අයුරින් වියදම් කරන ලද අවස්ථාවන්ද නැත්තේ නොවේ. ඇත්ත වශයෙන්ම ඔබට අවශ්‍ය මිල මුදල් සපයා ගැනීමට නම් ඔබ වෙහෙස මහන්සි වී වැඩ කටයුතුවල නිරත විය යුතු බව තරයේ සිහිතබා ගන්න.
මිථුනයෙන් උපන් ඔබ ව්‍යාපාරයන්හී නියෑළීමෙන් දක්ෂ, බලවත් ව්‍යාපාරිකයකු ලෙස ප්‍රසිද්ධියට පත්වන බව නොඅනුමානය. එම නිසා ලග්නාධිපති බුධගෙන් ලද එම සහජ වෙළෙඳ බුද්ධිය නිසි ලෙස යොදවමින් ජීවිතය ජයගැනීමට උත්සහ ගන්න. ලොව සාර්ථක ව්‍යාපාරිකයන් අතර මිථුනයෙන් උපන්නවුන් වැඩි වශයෙන් ඇති බව අමතක නොකරන්න.
ඇත්ත වශයෙන්ම මිථුනයෙන් උපන් ඔබ, අවංකවම ඔබට ආදරය කරන පෙම්වතා හෝ පෙම්වතිය හොඳින් හඳුනා ගැනීමට උත්සහ කරයි. ඒ සඳහා කෙටි උපක්‍රම හා පරීක්ෂණයන් ද යොදා ගන්නා අතර ඒ මගින් තමාට සුදුසු පුද්ගලයා තෝරාගන්නා බවක් පෙනේ. නමුත් මෙහිදී උභය රාශියක නෛසර්ගික ගුණය මතු කරලමින් එකවර දෙදෙනකුට හෝ ඊට වඩා පෙම්වතුන්, පෙම්වතියන් තම ඇසුරේ තබා ගැනීමට රහසිගත උත්සහයක යෙදෙ අපගේ පර්යේෂණයන්ගෙන් තහවුරු වී තිබේ.
මිථුනයෙන් උපත ලද ඔබගේ පමණක් නොව බොහෝ දෙනෙකුගේ විවාහය සිදුවන්නේ බොහෝ විට ප්‍රේම සබඳතාවයක් මත වීම විශේෂත්වයකි. එහෙත් යෝජනාවක් මගින් විවාහය සිදුවුවද, දකින්නා සිතනුයේ ඔබ හැසිරෙන ආකාරය අනුව ප්‍රේම සම්බන්ධතාවක් මත විවාහය සිදුව ඇති ලෙසිණි.
කෙසේ වෙතත් මිථුනයෙන් උපන් ඔබ ප්‍රේමයට මුල් තැන දෙන ආදරණීය හැඟුමින් පිරි ප්‍රේමනීය පුද්ගලයෙකු බව අමුතුවෙන් කිව යුතු නැත. ලිංගික ජීවිතයට ද ඔබ තුළ ඇත්තේ මහත් රුචියක් බැවින් ආදරය ද සමගින් ඉහළම ලිංගික ජීවිතයක් ඔබ අපේක්ෂා කරන බව රහසක් නොවේ.
අලුත් මිතුරු මිතුරියන් තම ජීවිතයට ළං වන විට ඔබ ඔබේ පරණ හිතවතුන් හිතවතියන් ජීවිතයෙන් ඈත් කරන ගතියක් තිබේ. එය ඔබේ ජන්ම ගතියකි. එනිසාම කලකදී ඔබට කිසිවෙකුත් නොමැතිව තනි වීමට සිදු විය හැක. සමහර මිථුන ලග්න කරුවන් මෙම නිසග ගතිය පාමින් තම පළමු බිරිඳ අතහැර හෝ ඇය සිටියදී හෝ වෙනත් බිරින්දෑවරුන් තබාගත් අවස්ථා අපගේ පර්යේෂණවලදී තහවුරු වී ඇත.
මිථුනයෙන් උපන් බොහෝ දෙනෙකු රහසිගත, අනියම් පෙම් සබඳතා හේතුවෙන් තම මුදල් තත්ත්වයට හානි සිදු කරගන්නා අතර එනිසාම තම පවුල් ජීවිත අවුල්කරගත් අවස්ථාද එමටය. මිථුනයෙන් උපත ලද ඔබ එසේ නොකරන්න. ප්‍රේමය හා විවාහය ආධ්‍යාත්මිකය. එය දෙවියන් මනුෂ්‍යයාට දුන් වටිනා තිළිණයක් බව සිතා තම සහකරුට හෝ සහකාරියට විශ්වාසවන්ත ලෙස කටයුතු කරන්න. එවිට මුළු ලොවම නැති වුණත් දෙවියන් ඔබ සමඟ රැඳෙනු ඇත.
උගුර හා පෙණහළු ආශ්රිත රෝග, මානසික ආතතිය, අත්වල, උකුල් ඇටවල වේදනා, අර්ශස්, වියළිකැස්ස, සමේ රෝග මෙන්ම කන්වල රෝගාබාධයන්ද ඔබට සාමාන්‍යයෙන් වැළඳෙන රෝග වනු ඇත. ඔබේ ජය අංක වනුයේ 05 සහ 06 යි. විෂ්ණු දෙවියන් නැමදීමෙන් ඔබට සුබසෙත ළඟා කරගත හැක.