වාඩි වූ ඉරියව්වක බෙල්ල නවා ගෙන නින්ද රෝගයකට හේතු විය හැකි බව ඔබ දන්නවාද
neckබස් එකේදී දුම්රියේදී එහෙමත් නැතිනම් වෙනත් වාහනයක ගමන් කිරීමේදී මෙන්ම දරුවන් පාසල් වෑන් රථවල යැමේදී වැඩි දුරක් නිදි කරමින් යැම බොහෝ විට සිදුවන ක්‍රියාවලියකි. මෙය කියවන ඔබටත් එම අත්දැකීම නොමැති බවට පැවසීමේ හැකියාවක් නොවනු ඇති. එහෙත් මෙය යම් රෝගී තත්ත්වයකට හේතු විය හැකි ඔබ මෙතෙක් නොදැන සිටියා නේද?
යම් වාහනයක නිදාගෙන හිස පහතට කඩා වැටෙමින් නිතර නිතරම ගමන් කරනවා නම් වෙනත් කිසිදු හේතුවක් රහිතව ස්නායු තෙරපීමේ රෝග තත්ත්වය ඇතිවීමේ හැකියාව තිබේ.
තවද එක දිගට කම්පියුටරය දිහා බලාගෙන කටයුතු කිරීම, බෙල්ල වැරදි ඉදිරියව්වකින් නවාගෙන එනම් බෙල්ල පැත්තකට කර ෆෝන් එක කනේ තබාගෙන සිටීම, (මුහුණු පොතේ) (Fඊ) දිගටම රැඳී සිටීම, ඔලුවට තද පහරක් වැදීම, හිසමතින් අධික බර ගෙන යැම, අනතුරුවලට ලක්වීම මෙන්ම ක්‍රීඩාවලදී වැටීම යන කාරණාවන්ද ස්නායු තෙරපීම ඇතිකිරීමට හේතුවන තවත් කාරණාවන් ලෙස පෙන්වා දීමට පුළුවන.
ගෙලෙහි සිදුවන ස්නායු තෙරපීම ඉතාම පීඩාකාරී රෝග තත්ත්වයකි. රෝගය සුවකර ගැනීමේදීද ඉතා ප්‍රවේශම් වීම වැදගත්ය. එයට හේතුව කොන්දට වඩා ගෙලෙහි චලන පරාසය වැඩිවීමයි.
ගෙලෙහි ස්නායු තෙරපීමක් යනු සුෂුම්නාව ආරම්භ වන මෙන්ම සුෂුම්නාවේ ස්නායු වැඩිම ප්‍රමාණයක් ගෙල තුළින්, (ග්‍රවී කශේරුකා) ගමන් කිරීමේදී මෙම කශේරුකා හෝ අන්තර් කශේරුකා මඩල මගින් සුෂුම්නාවම හෝ සුෂුම්නාවෙන් බාහිරයට පැන නගින ස්නායු තෙරපීමට ලක්වීම ගෙල ආශ්රිත සිදුවන ස්නායු තෙරපුමක් ලෙස හඳුන්වනු ලැබේ.
ඉතාමත් සුළු ස්නායු තෙරපුමකදී ගෙලෙහි වරින් වර ඇති වී නැති වී යන සුළු වේදනාවක් ඇතිවන අතර එය නොසලකා හැරීමෙන් ක්‍රම ක්‍රමයෙන් රෝගී තත්ත්වය වර්ධනය වනවාත් සමඟ වේදනාව ගෙල දෙපසට විහිදී යනු ඇත. තව තවත් රෝගය උත්සන්න වන විට ගෙල සිට උරහිස් දක්වා වේදනාව ගමන් කිරීමට පටන් ගනු ඇත. ක්‍රම ක්‍රමයෙන් ස්නායු තෙරපීම වැඩිවන විට ගෙල ආශ්රිත පේශී සහ උර ආශ්රිත පේශී තදවීමට පටන් ගන්නේය. එමෙන්ම ගෙලෙහි චලන අඩුවීම නැතහොත් ගෙල හැරවීමේ අපහසු තාවයක් ඇතිවන්නේ එවිටය. මෙම තත්ත්වයද නොසලකා හැරීමෙන් ගෙල උරහිස දක්වා ඇති වේදනාව දෑත් කරා පැතිරී යැමට පටන් ගන්නා අතර තවදුරටත් රෝගය උත්සන්න වන විට අත් එසවීමට අපහසුව, අත දිගේ විටෙක විදුලියක් ගමන් කරනවා මෙන් දැනීම ආදී රෝග ලක්ෂණ සහ ඉවසා දරාගත නොහැකි දැඩි වේදනාව නිසා නින්ද නොයැම ආදී කරුණු මෙම රෝගීන්ගෙන් දැක ගැනීමට ලැබෙන්නේය.
මෙම තත්ත්වයන් යටතේ සුෂුම්නාවේ සිට අත දක්වා එන ස්නායු හානිවීමට ලක්වීමෙන් දෑත් වාරු නැතිවීම, දෑතෙහි මාංශ ක්ෂය වීම ආදී ලක්ෂණ දැක ගැනීමට හැකිය. එසේ ඇති වන්නේ බොහෝ දුරට දෑතට එන ස්නායු තෙරපීම නිසා වන අතර අන්තර් කශේරුකා මඩල හෝ කශේරුකා මගින් සුෂුම්නාව තෙරපීමට ලක්වීම මෙයට වඩා බොහෝ සෙයින් දරුණු දුබලතාවයන්ට රෝගීන් පත් කරනවා ඇත.
එයට හේතුව වන්නේ ගෙලෙහි සිට පහළට මුළු ශරීරයටම අදාල වන ස්නායු කොදුඇට පෙළ තුළින් ගමන් කිරීම නිසාවෙනි. එසේ ගමන් කරන ස්නායු තෙරපීමට ලක්වීමෙන් එනම් ගෙල ආශ්‍රීතව සුෂුම්නාව තෙරපීමට ලක්වීමෙන් ගෙල සිට පහළට මුලු ශරීරයම වුවද අප්‍රාණික වීමේ හැකියාවක් ඇතිවීමට පුළුවන. එම නිසා ගෙල ආශ්‍රිතව ඇතිවන සුළු ස්නායු තෙරපීමකදී පවා ඉක්මන් ප්‍රතිකාර ගැනීම ඉතාම වැදගත්ය.
මෙසේ සිදුවන ස්නායු තෙරපීමක් සමඟ කාලයක් තුළ සාමාන්‍ය කටයුතුවල නිරතවීම මගින් තවදුරටත් උග්‍රඅතට හැරෙන අතර කල් පැවතීමෙන් කශේරුකා දේහය ආශ්‍රිතව සිදුවන කැල්සියම් තැන්පත් වීමෙන් සුෂුම්නාව ගෙන යන කුහරය මදින් මද පටුවීම සිදුවිය හැකිය.
කශේරුකා හෝ අන්තර් කශේරුකා මඩල වෙනස් වීමෙන් ඇතිවන ස්නායු තෙරපීමට වඩා කැල්සියම් තැන්පත් වීම නිසා සිදුවන ස්නායු තෙරපීම බොහෝ සෙයින් භයානකය. එයට හේතුව වන්නේ කශේරුකා හෝ අන්තර් කශේරුකා මඩල වෙනස් වීමෙන් සිදුවන ස්නායු තෙරපීමක් දේශීය වෛද්‍ය ක්‍රමය තුළ යළි සැකසීමේ හැකියාව ඇතත් කැල්සියම් තැන්පත් වූ විට එය ඉවත් කිරීමේ ක්‍රමයක් නොමැති නිසාය.
මෙම තත්ත්වය යටතේදී සැත්කම් කිරීමක් සිදුවන අතර සැත්කම සුෂුම්නාව ආසන්නයේම සිදුකරන බැවින් සුෂුම්නාවට හානියක් සිදු වී නම් මුලු ශරීරයම අප්‍රාණික වීමට පවා එය හේතුවිය හැක. එම නිසා ගෙල ආශ්‍රිතව සිදුවන ස්නායු තෙරපීමකදී එය සුළුකොට නොතකා ඉක්මන් ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත්ය.
දේශීය වෙදකමේදී පුරාණ ආයුර්වේද පොත පතෙහි සඳහන් පරිදි ගෙල ආශ්රිත ස්නායු තෙරපීමකට වෛද්‍යවරයා විසින් රෝගය හඳුනාගෙන තෙල් ආලේපයෙන් අදාල ස්ථාන බුරුල්කිරීමකට ලක්කර වෙනස් වූ කශේරුකාවන් හෝ අන්තර් කශේරුක මඩල ස්ථානගත කිරීම සිදු කරන අතර ස්නායු තෙරපීම නිසා තද බවට පත්වී ඇති පේශී තෙල් ගැල්වීමෙන් මෘදු බවට පත්කරයි. එමෙන්ම කොදුඇට පෙළ ශක්තිමත් කිරීම මගින් යළි යළිත් මෙම රෝගී තත්ත්වය ඇතිවීම වළක්වා ගැනීම සිදු කරයි.
දේශීය ප්‍රතිකාරවල සුවිශේෂීත්වය වන්නේ අනෙකුත් ප්‍රතිකාරවල ඇති අතුරු ආබාධ රහිතව මෙම රෝග තත්ත්වය පූර්ණ වශයෙන් සුවපත් කර ගැනීමට ඇති හැකියාවයි.