Life
ගල් තැළීම්වලට ගෙදරදී අත් ඛෙහෙත් කරන්න එපා
ගල් බොරලු, වළ ගොඩැලි, උල් කටු ඇති බිමක ඇවිදීම නිසා හෝ සමතලා බිමකදී සමව පය බිම නොතබා නුහුරට ඇවිදීම නිසා හෝ තුවාල වූ යටි පතුල් සඳහා නිසි ප්‍රතිකාර සිදු නොකොට කාලයක් තිබී අපිරිසුදු තුවාල වටා සම වර්ධනය වීම නිසා පාදයේ යටි පතුලේ ඉතා ඝනවට යම් ගැටිත්තක් වැනි යමක් ඇතිවිය හැකිය. උලක් මෙන් උස්වූ වාතය හා සෙම සමඟ සම්බන්ධයක් ඇතිව සෑදෙන ඝන හෝ මෘදු හෝ පිටතට නෙරුම් රාශියක් සහිතව පිහිටි සමේ ගැටිති ස්වභාවය ශර්කරා කදර හෙවත් ගල් තැළිම්බු නමින් හඳුන්වනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී කකුලේ කරගැට නමින් හෝ ගල් තැළුම් නමින් හඳුන්වන්නේද මෙයයි.
ඇවිද්ද පය දහස් වටී කියලා කතාවට කියනවා. හැබැයි ඒ කතාව ගල් තැළීම් රෝගීන් සම්බන්ධයෙන් නම් නොවිය හැකියි. දෙපා බිම තබන විට උඩ විසිවෙනවා වගේ දැනෙනවා නම් ඇවිදින විට දෙපය සමව පොළොවට තබන්න නොහැකි නම්, ඔබ ඇවිදිනවා දුරක සිට බලා සිටින විටදී ඔබ උඩ පැන පැන අශ්ව ගමනක් යනවා වගේ යැයි අනෙකකු පවසයි නම් ඔබ මෙම රෝගයෙන් පෙළෙන්නෙකි.
උල් කටුවක් මඟින් පාදයේ ඝන වූ සම ඉරා දමනවා. බ්ලේඩ් තල කැබැල්ලකින් එසේ ඉරා දැමූ සම කපා ගන්නවා. ක්‍රමයෙන් සම ඉරා දමමින් ගැඹුරටම සම කපා දමනවා. දත කට පියාගෙන වේදනාව ඉවසාගෙන මෙසේ කරද්දී බොහෝ විට ලේ ගලාගෙන යනවා. එසේ නොවේ නම් රත් කළ තිරුවානා ගල් කැබැලි උඩින් සිදුරු කරගත් පොල් කට්ටක් තබා ගල් තැළිම්බු කකුල පොල්කටු සිදුර මතින් තබා ගන්නවා. මෙවැනි ක්‍රියා නොකළ යුතුයි. ඉතා පහසුවෙන් සුව කරගත හැකි රෝග තත්ත්ව මෙවන් ප්‍රාථමික ක්‍රියාකාරකම් හේතුවෙන් වඩා අසීරු තත්ත්ව කරා යොමු විය හැකියි. කාලයෙන් කාලයට මෙසේ සම සිදුරු කිරීම හෝ පිලිස්සීම හේතුවෙන් ශරීරයේ නිරෝගී කොටස්වල ක්‍රියාකාරිත්වයට පවා හානි විය හැකියි. නොයෙක් විසබීජ ශරීරයට ඇතුළු වී බලාපොරොත්තු නොමැති භයානක ප්‍රතිඵල ඇතිවිය හැකියි. එබැවින් ගල් තැළීම් සඳහා අත් ඛෙහෙත් ප්‍රතිකාරයන් නොකර සිටීම නුවණැති ක්‍රියාවක්.
ගල් තැළිම්බු හෙවත් ශර්කරා කදර පාදයේ විළුඹ ප්‍රදේශයේ ඉතා බහුල වශයෙන් හටගන්නවා. පාදයේ ඉදිරි කොටසේ දෙපැත්තේ ශරීරයේ බර පොළොවට දරා සිටින ස්ථාන ආශි්රතවද හටගන්නවා. මීට අමතරව පොළොවට තදින් ස්පර්ශ වන ඇඟිලි තුඩු ආශි්රතවද හටගන්නවා. සමේ ඉතා තද ස්වභාවය, ඝන වූ සම පැළුණු ස්වභාවය, පොතු ගැලවීම, වියළි ස්වභාවය, වේදනාව සහ තද දැවිල්ල ආදිය ගල් තැළිම්බුවල පොදු ලක්ෂණ වශයෙන් දැක්විය හැකියි. ගල් තැළිම්බු ප්‍රධාන වශයෙන් කොටස් 3කට වෙන් කර හඳුනාගත හැකියි. සම ඉතා ඝනව, දැඩිව, වියළිව පිහිටන වර්ගය සහ සම මෘදුවට, වියළි බවින් අඩුවට පිහිටන වර්ගය සහ පිටතට නෙරුම් රාශියක් සහිත වූ වර්ගය යනුවෙන් පැහැදිලි වශයෙන් මේවා හඳුනාගත හැකියි. මෙයින් විළුඹ ප්‍රදේශය ආශි‍්‍රතව පිහිටන සම ඉතා ඝනව පිහිටන වර්ගය හා පාදයේ ඉදිරියේ දෙපයින් හා පළමුවැනි සහ හතරවැනි පස්වැනි ඇඟිලි තුඩු යට පිහිටන ඝනකමින් අඩු වර්ගය ඉතා බහුලව දැකගත හැකියි. පිටතට නෙරුම් සහිතව පිහිටන වර්ගය පාදයේ වක්‍ර ආශි‍්‍රතව පිහිටන අතර ඒවා දැකගත හැක්කේ ඉතා සීමිතවයි.
දෑත දෙපය වෙහෙසා බර වැඩ කරනා කම්කරුවන්ට, අධික බර ඔසවාගෙන යන නාට්ටාමිවරුන්ට, සපත්තු සෙරෙප්පු නොපැලඳ බර වාහන පදවන රියැදුරන්ට, ගල් තැළිම්බු සෑදීමේ වැඩි ඉඩකඩක් තිඛෙනවා. නමුත් කය අධිකව වෙහෙසා බර වැඩ නොකරන අයටද ගල් තැළිම්බු රෝග තත්ත්වය සෑදී තිඛෙනු දැකගත හැකියි. එනම් දවසේ වැඩි වේලාවක් එකම ඉරියව්වෙන් සිටිය යුතු අයට හා ප්‍රමිතියෙන් තොර සපත්තු සෙරෙප්පු පලඳින අයටයි. මිනිසාගේ ශරීරයේ බර පාදයේ පිහිටා ඇති වක්‍ර හරහා පොළොවට දැනෙන අතර නිසි ප්‍රමිතියෙන් නිපදවා ඇති පාවහන් පාදයේ වක්‍ර පිහිටීම අනුව ශරීර බර පොළොවට යොමුවන දිශානතිය වෙනස් නොවන සේ සාදා තිඛෙනවා.
ගල් තැළිම්බු ඇතිවීමට කෙනකුගේ වයස අදාළ වන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් ශරීර ක්‍රියාකාරිත්වය හා ජීවන වෘත්තීන්වලට යොමුවීම ආදී කරුණු හේතුවෙන් සාමාන්‍යයෙන් වයස 20-60 අතර කාලයේදී ගල් තැලිම්බු තත්ත්වය ඇතිවිය හැකියි. ගල් තැළිබුවක් ඇතිවීමට ප්‍රධාන හේතුව වශයෙන් සඳහන් කළ හැක්කේ පාදයේ එක්තරා ප්‍රදේශයක් දිගින් දිගටම දැඩි තෙරපුමකට භාජන වීමයි. කෙනකුගේ පාදයේ සමෙහි කෙරටීන් ස්තරය වෙනස් වීම, එහි අධි වර්ධනය හෝ දුර්වලතාව මේ සඳහා දැඩිව බලපානවා. එමෙන්ම සම සිදුරු වී ඒ තුළින් නොයෙකුත් අපද්‍රව්‍ය හෝ විෂබීජයන් ඇතුළුවීමද මේ සඳහා හේතු විය හැකියි.
ගල් තැළිම්බු ඇතිවීම කෙනකුගේ දෛනික ජීවන ක්‍රියාකාරිත්වයට යම් බලපෑමක් සිදු කරනවා. හිතූ හිතූ තැනක ඇවිදීමට යෑමට නොහැකියි. පන්සල් මළුවේ වැලි පාගාගෙන ඇවිද ගොස් මලක් පූජා කිරීම පවා වෙහෙසකාරී කටයුත්තක් විය හැකියි. තණ බිමක ඇවිද යෑමට නොහැකියි. සමහරවිට වතුර ගෑවුණු විටදී පවා ඉතා තද වේදනාවක් හටගන්නවා. පාවහන් දැමීම කරදරයක්. නොදමා සිටීමද කරදරයක්. තමාට සුපුරුදු ගමන් රටාව වෙනස් බැවින් එය තමාගේ පෞරුෂයට පවා යම් බලපෑමක් සිදු කරනවා.
ගල් තැළිම්බු සඳහා කළ යුතු හොඳම දෙය නම් ඒ සඳහා නිවැරැදි ප්‍රතිකාර වෙත යොමුවීමයි. ගොඩ වෙදකම් කිරීම සහ අත් ඛෙහෙත් කිරීම සුදුසු නොවන අතර දීර්ඝකාලීනව පසු ආබාධ තත්ත්ව ඇතිවිය හැකියි. සැත්කම් සිදුකර ගල් තැළිම්බුව කපා ඉවත් කිරීමේදී ඉතා විශාල වශයෙන් සම කපා ඉවත් කිරීම සිදුකළ යුතු අතර ගසක් ලියලා වැඩෙන්නා සේ ගල් තැළිබුව නැවැත මතුවීම සිදුවිය හැකියි. මෙහිදී ඇතිවන තවත් තත්ත්වයක් නම් ගල් තැළිබු කොටස සමඟ සම සහ මස් තවත් ප්‍රමාණයක්ද කැපීම නිසා එතැන වඩා වේදනා සහිත බවක් ඇතිවීමයි. තුවාලයට ප්‍රතිකාර කිරීමද සිදුකළ යුතුයි. නමුත් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරයේදී ගල් තැළිබුව සහිත සම් කොටස කැපීමක්, පැළීමක්, සිදුරු කිරීමක් හෝ කපා ඉවත් කර තුවාලය සෑදීමක් නොකර එය ක්‍රමයෙන් සම තුළින් පිටතට ඒමට සලස්වා ස්ථිරවම සුවකර ගත හැකියි.
wishmaya.com