Life
කොන්ද කැක්කුම ද?
අද අප කතා කරන්නේ කොන්ද ආශ්‍රිතව ඇතිවන කැක්කුම්, වේදනාවන් පිළිබඳව. ඔබ දන්නවා ද මෑතදී ඇමෙරිකාවේ කරනු ලැබු සමීක්ෂණයක ප්‍රතිඵල? ඒ සමීක්ෂණයෙන් සොයා බැලුවේ රෝගීන් වැඩිපුරම වෛද්‍යවරු හමුවට යන්නේ කුමන අන්දමේ රෝගවලට ප්‍රතිකාර ගැනීමට ද යන බවයි. එයින් හෙළි වුණේ කොන්ද ආශ්‍රිතව ඇතිවන වේදනාවන් කැක්කුම් නිසා වෛද්‍යවරයකු හමුවන රෝගීන් සංඛ්‍යාව දෙවැනි වන්නේ සාමාන්‍ය වෛරස් උණ සඳහා වෛද්‍යවරයකු හමුවන රෝගීන් සංඛ්‍යාවට පමණක් බවයි.
මෙයින් හැඟී යන්නේ කොන්දේ අමාරු ඉතා සුලබ බවයි. කොන්දේ අමාරු සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ ශරීරය ඍජුව පවත්වාගෙන යාමට කොන්දෙන් ලැබෙන සහයෝගයත්, මොළයේ සිට ශරීරය පුරා ගමන් කරන ස්නායු කොඳුඇට පෙළ ආසන්නව පිහිටා තිබීමත්. මෙම ස්නායුවලට අවශ්‍ය ආරක්ෂාව සැපයෙන්නේ කොඳුඇට පෙළෙන්.
කොන්ද සහ බෙල්ල නිර්මාණය වී තිබෙන්නේ අස්ථි 20 කින්. අවශ්‍ය ඕනෑම පැත්තකට නැවීමේ හැකියාව ශරීරයට ලබා දෙන්නේ අන්තර් ක්ශේරුක මඬල නම් විශේෂ අස්ථිවලින්. නැවීමට මෙන්ම කම්පනය අවශෝෂණය කරගැනීමේ හැකියාවන් මෙම අන්තර් කශේරුක මඬලෙන් ලැබෙනවා. මෙම ව්‍යුහය කොන්දට ඉතාම විශේෂයි. මෙම ව්‍යුහයේ ඇතිවන යම් යම් වෙනස්කම් නිසයි, කොන්ද ආශ්‍රිතව විවිධ ආබාධ, වේදනාවන් ඇතිවන්නේ.
ඇත්තෙන්ම කොන්ද ප්‍රදේශයේ කැක්කුමක් ඇතිවීම රෝගයක් නොවේ; රෝග ලක්ෂණයක්. ඊට හේතු කීපයක්ම මුල් වෙනවා. ඉන් පළමුවැන්න උපතින්ම ඇතිවන කොන්දේ ආබාධ නිසා ඇතිවන කොන්ද කැක්කුම.
දෙවැන්න කොන්ද ආශ්‍රිතව සිදුවන යම් යම් යාන්ත්‍රික හේතු නිසා ඇතිවන කොන්දේ කැක්කුමයි. තුන්වැනි හේතුව ලෙස වයස්ගත වීම දක්වන්න පුළුවනි. වයසට යාමත් සමඟම ශරීරයේ අනෙකුත් අස්ථිවල වේදනාවක් කැක්කුමක් ඇතිවනවා සේම කොන්දේ අස්ථි ගෙවීම නිසාත් වේදනාවක් ඇතිවෙන්න පුළුවනි. මීළඟ හේතුව කොන්දට බලපාන යම් යම් ආසාදන තත්ත්වයන්. කොන්දේ වේදනාව ඇතිවීමට හේතු වන තවත් කාරණයක් හඳුනාගෙන තිබෙනවා. ඒ; කොන්ද ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහයන්. කොන්ද ආශ්‍රිතව හටගන්නා වූ පිළිකාවන් කොන්දේ වේදනාවට කැක්කුමට බලපාන අවසන් හේතුව ලෙස දැක්විය හැකියි. මෙය ඉතාම දුර්ලභ හේතුවක්.
මේ හේතු අතරින් කොන්දේ කැක්කුමට බලපාන බහුලම හේතුව වන්නේ යාන්ත්‍රික හෝ ව්‍යුහමය වෙනස්වීම්. මෙහිදී යාන්ත්‍රික හේතුන් ලෙස දක්වන්නේ අප විසින් සිදු කරනු ලබන විවිධ ක්‍රියාකාරකම්. විශාල බරක්, එක තැන නැවී, වෙනත් ආධාරකයක් නැතිව එසවීම එවැනි වැරැදි ක්‍රියාකාරකමක්. මෙවැනි අවස්ථාවකදී මාංශපේෂි ගැස්සෙන්න ඇදෙන්න හෝ ඉරෙන්න පුළුවනි.
එලෙස කොන්දේ මාංශපේෂි සහ තන්තු ඇදීමට ලක්වීම නිසා ඇතිවන Straiusau Strain නම් රෝගී තත්ත්වය කොන්දේ කැක්කුම ඇතිවීමට බහුලවම බලපාන හේතුව ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙහිදී ඇතිවන වේදනාව ඉතා අධිකයි. මෙම තත්ත්වය ඇතිවූ පසුව විවේක ගැනීම, කොන්ද ප්‍රදේශය උණු ජලයෙන් තැවීම මෙන්ම වේදනානාශක ගැනීම මඟින් සතියක් දෙකක් වැනි කාලයක් තුළ පහව යනවා.
කොන්දේ අස්ථි දෙකක් අතර තිබෙන අන්තර් කශේරුක මඩල ඇතුළට නෙරා යාම කොන්දේ අමාරු ඇතිවීමට තවත් එක් ප්‍රධාන හේතුවක්. අන්තර් කශේරුක මඬල ශරීරය තුළට නෙරා යාම නිසා සුසුම්නාව සහ සුසුම්නාවේ ස්නායු තෙරපීමකට ලක් වෙනවා. කොන්දේ වේදනාව ඇතිවන්නේ එවිටයි. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ වැරැදි ඉරියව්.
පරිගණකයක් ඉදිරිපිට හෝ කාර්යාලයේ වැඩි වේලාවක් ඉඳගෙන සිටින පුද්ගලයින් එසේ ඉඳගෙන සිටින්නේ පුටුවට හේත්තු නොවී ඉදිරියට නැවී නම්, ටික දිනක් යන විට එම පුද්ගලයාට කොන්දේ කැක්කුම ඇතිවීමට ඉඩ තිබෙනවා. නිදාගන්නා වැරැදි ඉරියව්ව වගේම නිදා ගැනීමට භාවිත කරන මෙට්ටයේ ස්වභාවයත් කොන්දේ කැක්කුමට බලපාන ප්‍රධාන යාන්ත්රිකමය හේතුවක්. නිදා ගැනීමට අධිකව එබෙනසුලු මෙට්ටයක් භාවිත කරන්නේනම් නිදාගන්නා මෙට්ටයේ තැනින් තැන ගෙවී ඇත්නම්, කොඳු නාරටියේ අන්තර් කශේරුකා මඬල ශරීරය ඇතුළට නෙරා යන්න පුළුවනි.
විශාල බරක් එසවීම වැනි ක්‍රියාවකදී කොන්ද ආශ්රිත මාංශපේෂින් ඇදීමකට ලක් වුවොත්, එම මාංශපේෂි ඉක්මනින්ම සංකෝචනය වීමට පටන් ගන්නවා. ඒ හේතුව නිසයි වැරැදි ලෙස බරක් එසවූ පසු කොන්ද ආශ්‍රිතව අධික වේදනාවක් ඇතිවන්නේ. බොහෝ දෙනකුගේ කොන්දේ අමාරුවලට බලපාන ප්‍රධානතම හේතුව ලෙස හඳුනාගත හැකි වන්නේ විවිධ හේතුන් නිසා කොන්දේ මාංශපේෂි සංකෝචනය වීමයි. කොන්දේ අමාරුවලට බලපාන යාන්ත්රිකමය හේතුන් ලෙස හඳුනාගත හැක්කේ මෙම සාධකයන්. මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් තිබනෙවා. ඒ, ඉහතින් සඳහන් කළ අන්තර් කශේරුක මඬල ඇතුළට නෙරා යාමේ තත්ත්වය සිදුවී ඇති බව හැඟුණොත් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතු බවයි. එයට හේතුව, කොන්දේ ස්නායුව තදවීමකට භාජනය වූවොත්, එය තරමක ගැටලු සහගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි නිසයි. ඉහත සඳහන් ආකාරයට කොන්දේ ස්නායුව තදවීමකට භාජනය වූ විට කොන්දේ කැක්කුම පාදය දිගේ දිව යන ආකාරයක් දැනෙනවා. එසේම පාදයේ මහපට ඇඟිල්ල, සුළැඟිල්ල අක්‍රිය වීමටත් යටි පතුල්වල හිරි වැටීමක් ඇතිවීමටත් ඉඩ තිබෙනවා. මෙවැනි රෝග ලක්ෂණ සමඟ කොන්දේ අමාරුවක් ඇතිවූවොත් වහාම වෛද්‍ය උපදෙස් පැතීම ඉතාම වැදගත්.
උපතින්ම කොන්දේ ඇතිවන යම් යම් ආබාධයන් නිසා ද පසුකාලීනව කොන්දේ අමාරු ඇතිවීමේ හැකියාව තිබෙනවා. මෙම තත්ත්වය ඉතා දුර්ලභයි. ඇතැම් දරුවන් උපදින විටම ඔවුන්ගේ කොන්දේ ඇතැම් අස්ථි එකිනෙකට හාවීමක් හෝ, ඇතැම් අස්ථි දුර්වලව නිර්මාණය වීමක් සිදුවෙන්න පුළුවනි. එවැනි අවස්ථාවකදී කොන්දේ අස්ථි අතර සමතුලිතතාවයක් නැතිවී යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස කොන්දේ අස්ථීන් ඇදවීමකට භාජනය වෙනවා. මෙවිට අධික වේදනාවක් ඇති වෙනවා. උපතේදී මෙවන් ආබාධ ඇතිවූවත් මෙහි රෝග ලක්ෂණ පෙන්නුම් කෙරෙන්නේ බොහෝ විට තරුණ අවධියේදී විය හැකියි. තරුණ අවධියේදී හදිසියේම කොන්ද ආශ්‍රිතව සිදුවන ගැස්සීමකදී ඉහත රෝගී තත්ත්වය මතුවිය හැකියි. මෙවැනි තත්ත්වයක් ඇතැයි යම් සැකයක් මතු වූවොත් ස්කෑන් පරීක්ෂණයකට ලක්කිරීමෙන් ඉතා නිවැරැදි ලෙස උපතින්ම ඇතිවී තිබෙන කොන්දේ ආබාධය හඳුනාගන්න පුළුවනි. බොහෝ විට මෙම තත්ත්වය ශල්‍යකර්මයක් මඟින් සුවපත් කරගැනීමේ හැකියාව තිබෙනවා.
කොන්දේ අමාරු සඳහා බලපාන තවත් හේතු සහ ඒ සඳහා ප්‍රතිකාර පිළිබඳව ලබන සතියේ කතා කරමු.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks