Life
කොන්දේ අමාරුවට හේතු ගොඩක්
ශරීරයේ සෙම ගතිය වැඩි වූ විට බෙල්ල ආශ්‍රිතව වේදනාවක් කැක්කුමක් ඇතිවෙන බවට ඇතැමුන් අතර මතයක් තිබුණත් එහි කිසිඳු සත්‍යතාවයක් ඇත්තේ නෑ. එහෙත් ශරීරයේ සෙම අධික වී අධික කැස්සක් මතු වූ විට එම කැස්ස නිසා බෙල්ලේ මාංශ පේෂි ඇදීමෙන් බෙල්ල ආශ්‍රිතව වේදනාවක් ඇතිවෙන්න පුළුවනි.
පසුගිය සතියේ බෙල්ල ආශ්‍රිතව ඇතිවන කැක්කුම් වේදනාවන් පිළිබඳ තොරතුරු කතා බහ කළා ඔබට මතක ඇති. අද ලිපියෙන් තව දුරටත් ඒ ගැන තොරතුරු විමසා බලමූ. බෙෙල්ලෙන් පටන්ගෙන විදුලි සැරයක් වදින්නාක් මෙන් අත දිගට වේදනාවක් ඇතිවීම බොහෝ දෙනෙක් පීඩා විඳින තවත් රෝගී තත්ත්වයක්. මෙය හඳුන්වනු ලබන්නේ Radiculopathy නමින්.
මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ බෙල්ල වැරැදි ඉරියව්වල බොහෝ වේලාවක් තබා ගැනීමයි. බෙල්ල නිසි අයුරින් තබාගන්නේ නැතිනම්, බෙල්ල අවශ්‍ය පමණට වඩා ඉදිරියට තබාගෙන බොහෝ වේලාවක් සිටියහොත් සිදුවන්නේ බෙල්ලේ මාංශ පේෂි සහ තන්තු ඇදීමකට ලක්වීමයි. එහිදී දැඩි වේදනාවක් ඇති වෙනවා.
කාලයක් තිස්සේ මෙලෙස වැරැදි ඉරියව්වක බෙල්ල තබාගෙන සිටින විට මාංශ පේෂිවල සහ තන්තුවල වෙනස්කම් සිදුවී බෙල්ලේ කැක්කුම දිගින් දිගටම ඇතිවීමට පටන් ගන්නවා. එසේම නිතර බෙල්ල ඉදිරියට නවාගෙන සිටින විට අන්තර් කශේරුකා මඩලට පීඩනය වැඩිවී එය වටා තිබෙන තන්තු කැඩීමට පටන් ගන්නවා.
එහි ප්‍රතිඵලය වන්නේ ඇතුළත තිබෙන ජෙලි වැනි ද්‍රව්‍ය, ටියුබයකින් දත් බෙහෙත් කාන්දු වන්නා සේ පිටතට කාන්දු වීමයි. එම ජෙලි වැනි ද්‍රව්‍ය මොළයේ සිට බෙල්ල හරහා අත දිගේ යන ස්නායුවල තැවරුණු විට ඇතිවන්නේ අධික වේදනාවක්, කැක්කුමක්. බෙල්ලේ සිට අත දිගට ගමන් කරන විදුලි සැර වදින්නාක් වැනි වේදනාවට හේතුව එයයි. එය පැහැදිලි ලෙසම වැරැදි ඉරියව්වක බෙල්ල තබාගෙන සිටීමේ ප්‍රතිඵලයක්.
Radiculopathy රෝගී තත්ත්වය අද සමාජයේ ඉතා බහුලයි. Spondylosis නම් රෝගී තත්ත්වය උත්සන්න වී කාටිලේජ ගෙවීම දරුණු වූ විටත් මෙම Radiculopathy නම් තත්ත්වය ඇති වෙනවා.
මෙම රෝගයේ විශේෂ ලක්ෂණය බෙල්ලේ කැක්කුමක් සමඟ බෙල්ලෙන් පටන්ගෙන අත දිගේ ගමන් කරන විදුලි සැර වදින්නාක් මෙන් වේදනාව වුවත් බෙල්ලේ කැක්කුමක් නැතිව වුවද මෙම රෝගී තත්ත්වය ඇතිවීමට ඉඩ තිබෙනවා.
බෙල්ලේ ඇතිවන අනෙකුත් ආබාධයන්ට වඩා මෙම රෝගය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. වඩාත් සුදුසු වන්නේ ඉහත රෝග ලක්ෂණ පහළ වූ සැණින් වෛද්‍යවරයකු වෙත යොමු වීමයි. මෙහිදී ප්‍රතිකාර පමා වීම අතෙහි ක්‍රියාකාරිත්වය අඩපණ වීමට පවා හේතු වෙන්න පුළුවනි.
Radiculopathy රෝගයට නිසි ප්‍රතිකාර නොකිරීමෙන් අත්වල ඇති ස්නායුවලට පමණක් නොව පාදවල ඇති ස්නායුවලටත් බලපෑම් එල්ල වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ රෝගියාගේ තත්ත්වය Myelopathy නම් තත්ත්වයට පත්වීමයි. මෙම රෝගය බොහෝ විට ඇතිවන්නේ වයස්ගත උදවියටයි.
එහිදී ඇවිදීමට පවා අපහසු වෙනවා. එසේම මෙම තත්ත්වයේදී පොළොවේ ඇති ගල් කැටයක පැටළී පවා වැටීමට ඉඩ තිබෙනවා.
මෙම රෝග තත්ත්වය උත්සන්න වූ විට පාද පණ නැතිවීමට පවා ඉඩ තිබෙනවා. Myelopathy සමාජයේ ඉතා දුර්ලභ රෝගයක්.
ඒ අපගේ බෙල්ල ආශ්‍රිතව ඇතිවන වේදනාවන් සහ කැක්කුම්වලට බලපාන ප්‍රධාන කරුණු. ඊට අමතරව බෙල්ල ආශ්‍රිතව ඇතිවන ආතරයිටිස් රෝගය ද බෙල්ලේ වේදනාව කැක්කුම ඇතිවීමට හේතුවක්. විශේෂයෙන්ම Spondio arthritis නම් ආතරයිටිස් රෝගය මේ සඳහා හේතු වෙනවා.
ක්ෂය රෝගය විෂබීජය බලපාන්නේ ස්වසන පද්ධතියට පමණක් බව බොහෝ දෙනෙක් සිතුවත් එම විෂබීජයේ බලපෑම කොඳුඇට පෙළ ආශ්රිත අස්ථි පද්ධතියටත් තිබෙනවා.
එසේම බෙල්ලේ අස්ථිවලටත් ක්ෂය රෝගය විෂබීජය ආසාදනය විය හැකියි. එවිටත් බෙල්ල ආශ්‍රිතව අධික වේදනාවක් දැනෙනවා. බෙල්ල ආශ්‍රිතව වේදනාවන් ඇතිවීමට බලපාන තවත් දුර්ලභ හේතුවක් වන්නේ, ගෙල ආශ්‍රිතව ඇතිවන පිළිකාවන්.
හදිසියේම එකවර බෙල්ල චලනය කිරිම නිසා ද ඒ ආශ්‍රිතව වේදනාවක් ඇති වෙනවා. එය සිදුවන්නේ බෙල්ලේ මාංශ පේෂියක්, කාටිලේජයක් හෝ තන්තුවක් ඇදුණු විට එහි බිඳීමක් සිදුවන නිසයි. එය එම ස්ථානයේ ආසාදිත තත්ත්වයක් ඇතිවීමට හේතුවක් විය හැකියි.
හදිසි ගැස්සීමකදී හෝ හදිසි චලනයකදී බෙල්ලේ වේදනාවක් ඇතිවන්නේ එතැන් පටන්. බෙල්ලේ තන්තුවල එවැනි තත්ත්වයක් මතු වූ විට ඒ අවට ඇති මාංශ පේෂි ගණ වෙනවා. ඉන් පසුව බෙල්ල හරවාගත නොහැකි තත්ත්වයට පත් වෙනවා. බෙල්ලේ ඉතා කුඩා මාංශ පේෂි කොටසක් හෝ තන්තුවක් ඇදීමකට ලක්වූ විට විශාල කැක්කුමක් ඇතිවන්නේ ඒ නිසයි.
බෙල්ල ආශ්‍රිතව ඇතිවන සියලුම වේදනාවන් සඳහා අද ප්රත්යක්ෂ ප්‍රතිකාර තිබෙනවා. වඩාත් වැදගත් වන්නේ රෝගය නිවැරැදිව හඳුනා ගැනීමයි. බෙල්ලෙහි කැක්කුමකදී වහා වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථා තිබෙනවා. බෙල්ලෙහි කැක්කුම සමඟ අත දිගේ වේදනාවක් ගමන් කරනවාක් මෙන් දැනේ නම්, එය වහා ප්‍රතිකාර ලබාගත යුතු අවස්ථාවක්.
එසේම බෙල්ලෙහි වේදනාව සමඟ ඇවිදීමට, වැසිකිළි යාමට, මුත්‍රා කිරීමට අපහසුවක් ඇත්නම් එය ද වෛද්‍යවරයකු වෙත වහා යොමු විය යුතු තත්ත්වයක්.
එසේම කිසියම් හදිසි අනතුරකට පසුව බෙල්ලෙහි කැක්කුමක් ඇත්නම් එය ද වහා වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්ත්වයක්. ඊට අමතරව බෙල්ලෙහි කැක්කුමක් සමඟ උණ, කෑම අරුචිය, ඇඟ පණ නැති ස්වභාවය වැනි රෝග ලක්ෂණ පෙන්වයි නම්, එය ද වහා වෛද්‍යවරයකු වෙත යොමු විය යුතු තත්ත්වයක්. සාමාන්‍ය බෙල්ලෙහි කැක්කුමකදී උණු වතුරෙන් තැවීම මෙන්ම අයිස් කැට තැබීම ද වේදනාව සමනය කරගැනීමට ඉතාම සුදුසුයි.
ගෙලෙහි ඇතිවන ආබාධ රෝගියා සමඟ කතා කිරීමෙන් හෝ පර්යේෂණ මඟින් වෛද්‍යවරයා හට නිවැරැදිවම හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. ඇතැම් විටක රෝගය නිවැරැදි ලෙස හඳුනා ගැනීමට M R I ස්කෑන් පරීක්ෂණයකට වූ ද රෝගියාව යොමු කිරීමට සිදු වනු ඇති.
රෝගය හඳුනාගත් පසුව ඖෂධ, එන්නත්, ව්‍යායාම, භෞත චිකිත්සක ප්‍රතිකාර ආදිය මඟින් බෙල්ලෙහි වේදනාව සම්පූර්ණයෙන්ම සුව කර ගැනීමේ හැකියාව අද තිබෙනවා.
Wmqgd .ekSu u��u mqj;am; weiqfrks