SexEducation
ඔබේ ශරීරය පිලිබඳ ඔබ දන්නේ මොනවාද?
බැලු බැල්මට විකාර, කමකට නැති ප්‍රශ්නයක් ලෙස පෙනුණත් ඇත්ත වශයෙන්ම මෙය ඉතාම වැදගත් කරුණක්. තමන්ගේ ශරීරය පිලිබඳ තමන් හොඳින් හඳුනාගෙන සිටීම යනු ආත්ම විශ්වාසයේ ප්‍රධානම සාධකයක්. ඒ වගේම සෞඛ්‍ය සම්පන්නව සිටීමටත් එය මහත් රුකුලක්.
නමුත් කොතරම් ලස්සන ඇඳුම් ඇන්දත්, කොතරම් ආලේපන හා සුවඳ විලවුන් ගැලවූවත් තම ශරීරය පිලිබඳ සමාජයේ බහුතරයකටම පවතින්නේ ඉතාම අල්ප දැනුමක්. උදාහරණයක් ගතහොත් ශ්‍රී ලංකාවේ කාන්තාවන් පියයුරු පිළිකා නිසා මිය යන්නේ, පියයුරු ඉවත් කිරීමට සිදු වන්නේ බොහෝ විට රෝගයේ මුල් අවස්ථාවේදීම පියයුරුවල ඇතිවන වෙනස් වීම් පිලිබඳ අවධානයක් යොමු නොකරන නිසායි. ශරීරය පිලිබඳ හොඳින් දැනගෙන සිටීම කොතරම් වැදගත්දැයි වටහා ගැනීමට එම උදාහරණය හොඳටම ප්‍රමාණවත්.
ඉතින් ලිංගිකත්වය පිලිබඳ කතා බහකට පිවිසෙන විට ඔබේ ශරීරය පිලිබඳ ඔබ කොතරම් දැනුවත් වී සිටිය යුතුදැයි දැන් ඔබට පැහැදිලි වී තිබිය යුතුයි. විශේෂයෙන්ම තමාගේ ප්‍රජනන පද්ධතිය පිලිබඳ, එහි අවයවවලින් සිදු කෙරෙන කාර්යයන්, ඒවායේ ස්වභාවය ආදී මේ සියලු දෑ පිළිබඳවම ඔබ ඉතාම හොඳින් දැනුවත් වී සිටිය යුතුයි.
මේ තොරතුරු යුගය වුවත්, සන්නිවේදන තාක්ෂනය කොතරම් දියුණුව තිබුනත්, තොරතුරු ලබා ගත හැකි මූලාශ්‍ර කොතරම් තිබුනත් තවමත් අපේ තරුණ පරපුර ඔවුන්ගේ සිරුරු පිලිබඳ හොඳින් දැනුවත් වී නොමැති බව පැවසිය යුත්තේ කණගාටුවෙන්. ලිංගිකත්වය පිලිබඳ සමාජය දක්වන අසීමිත බිය හා නොදැනුවත්කම මෙන්ම ලැජ්ජාවද මෙයට හේතු ලෙස හැඳින්විය හැකියි.
ඉතින් මතක තබාගන්න, ලිංගිකත්වය කියන්නේ ඉතාම සාමාන්‍ය සහ ස්වාභාවික දෙයක්. යහපත් ලිංගික දිවියකට මෙන්ම යහපත් විවාහ දිවියකට මෙන්ම ආත්මාභිමානයෙන් යුතුව සමාජයේ ජීවත් වීමට ඔබේ ශරීරය පිලිබඳ ඔබ සතු මනා දැනීම අතයාවශ්යයි. ඔබේ දිනයෙන් මද වේලාවක් කණ්නාඩියක් අසලට වී ඔබේම සිරුර නිරීක්ෂණය කිරීමට යොදාගැනීමෙන් ඔබට සැලසෙන්නේ යහපතක් මිස අයහපතක් නම් නෙවෙයි.
ඒ නිසා ශරීරය හොඳින් නිරීක්ෂණය කරන්න, ඔබේ මිතුරු මිතුරියන් සමඟ එවන් දෑ පිලිබඳ ඔබ සාකච්ඡා කරන්න, අවශ්‍ය අවස්ථාවන්වලදී වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ආත්ම විශ්වාසයෙන් සහ යහපත් ශරීර සෞඛ්‍යයකින් යුතුව ජීවිතයට මුහුණ දෙන්න.
.loveandsex.lk