Life
ඔබේ දරුවාට ජීවිතය ගැන කියා දෙන්නේ කොහොමද?
ජේයෂ්ඨ මනෝ උපදේශිකා එශාමා කාරියකරවන
හැමදාම ඔබට ගෙනෙන මනෝ විද්‍යාත්මක ලිපි වෙනුවට වෙනත් දෙයක් ගෙන එන්න හිතුණා. මේ තාත්තා කෙනෙක් දුවට ජීවිතය ගැන කියා දෙන හැටි. හරිම අපූරු ගීතයක්. අන්තර්ජාලයෙන් ඔබට අහන්න පුළුවනි. බලන්න ඔබත් ඔබේ දුවට ජීවිතය කියලා දෙන්නේ මෙහෙමද කියලා. මෙහෙම නොවේනම් අද උත්සාහ කරන්න. ඔබේ පුංචි සුරංගනාවියට ජීවිතය කියා දෙන්න, ඔබේ දියණිය අනාගත පරපුරක අභිමානවත් මාතාවක් කරන්න නම් ඒ සඳහා පළමු පියවර තැබීම කළ යුත්තේ තාත්තා වන ඔබයි.
පියා - මුළු ලොව ලැබුණත් වෙනස් නොවේ
මගෙ එක වස්තුව ඔබයි දුවේ
දුව - ඇත්තද තාත්තේ...
පියා - කිව්වට ගුණ කඳ නැත නිම්මා
නෙත් දෙක වාගේ ඔබෙ අම්මා
දුව - වාසනාවන්...
පියා - වරදක් වී දඬුවම් දෙන දා
හොර බොරු නොකරනු දුව කිසිදා
දුව - නෑ කරන්නේ...
පියා - වරදට ආයුෂ අඩුයි ලොවේ
හොඳ පවතියි හැමදාම දුවේ
දුව - හැබැයි හැබැයි...
පියා - සැප මෙන් දුක ඉවසා ඉන්න
හිනැහී සිත සනසා ගන්න
දුව - හා හා හොඳයි...
පියා - නැති බැරි අය හට පිහිට වෙනු
නැති තැන ඇති දෙය පිනට දෙනූ
දුව - ඒක එහෙමයි...
ගායනය - ජේ. මිල්ටන් පෙරේරා සහ දමයන්ති ඒකනායක, පද රචනය - කරුණාරත්න අබේසේකර, සංගීතය - මොහමඩ් සාලි
ගීතය රසවින්දනය උදෙසා පමණක් නොව සමාජ පණිවුඩයක් ලෙසද භාවිත කළ හැකි බව කදිමට පැහැදිලි කර දෙන අපූරු ගීතයක් තමයි මේ. තරමක් පැරැණි ගීතයක් වුවත් එහි අගය කිසිදා පැරැණි වෙන්නේ නැහැ. කරුණාරත්න අබේසේකර සූරීන් විසින් තාත්තා කෙනකුගෙයි, දුවකුගෙයි ආදරය හෙළිදරව් කරන තාත්තා දුවට ලෝකය ගැන කියා දෙන ආකාරය ඉතා මනරම් ලෙස ගීතයකට යොදා ගත් අවස්ථාවක් මේ.
"මුළු ලොව ලැබුණත් වෙනස් නොවේ
මගෙ එක වස්තුව ඔබයි දුවේ"
තාත්තා දුවට පළමුවෙන්ම කියා දෙන්නේ තමාට මුළු ලොවටත් වඩා දියණිය වටින බවයි. මවුපියන්ට දරුවන් තරම් වටිනා දෙයක් මිහිපිට නැත. බුදුහිමියන් පවා 'පුත්තා වත්ථු මනුස්සානං' මනුෂ්‍යයාට දරුවන් සම්පතකි යනුවෙන් දේශනා කළේ එහෙයිනි. විශේෂයෙන් තාත්තා සහ
දුවක අතර සුවිශේෂී වූ බැඳීමක් ඇත. ලෝකයම තම දෙපා මුල තැබුවත් දියණිය තමාට ඊටත් වඩා වටින බව තාත්තා කියයි. දියණිය ඉන් මහා සතුටක් අත්විඳී.
"ඇත්තද තාත්තේ"
ඇය හුරතල් වෙමින් විමසන්නීය. කුඩා දරුවකුට මවුපියන්ගෙන් ලැබෙන ආදරය පිළිගැනීම සහ රැකවරණය තරම් වටිනා තවත් දෙකක් නැත. දරුවාගේ පෞරුෂ
සංවර්ධනයට ආදරය පිළිගැනීම සහ රැකවරණය මඟින් ලබා දෙනුයේ ඉමහත් දායකත්වයකි. දරුවා ලෝකය විශ්වාස කරන්නේත් ලෝකයට ආදරය කිරීමට පටන් ගන්නේත් මේ තුළිනි. මේ තාත්තා කියවූ තාත්තා කෙනෙකි. ඒ නිසා පළමුවෙන්ම දියණියට ඒ බව ප්‍රකාශ කර සිටී. එවන් තාත්තා කෙනකුට සවන් නොදෙන දියණියක් ලොව නැත.
"කිව්වට ගුණ කඳ නැත නිම්මා
නෙත් දෙක වාගෙයි ඔබෙ අම්මා"
තාත්තා ඊළඟට කතා කරන්නේ තාත්තාටත්, දියණියටත් මේ ලොව සිටින වඩාත්ම ආදරය කරන තැනැත්තිය පිළිබඳය. අම්මා! අම්මාගේ ගුණ කඳ කියා නිම කළ නොහැකිය. තාත්තා කෙනකු අම්මාගේ ගුණ දරුවන්ට කියා දෙන නිවෙස ආදරය සෙනෙහස දෝරේ ගලා යන නිවෙසකි. එවන් නිවෙසක හැදෙන වැඩෙන දරුවන් තරම් වාසනාවන්ත දරුවන් තවත් නැත. මවුපිය දෙදෙනාගේ ආදරය දරුවන් දැකිය යුතුය. විඳිය යුතුය. මවුපියන් එකිනෙකාට ගරු කරන ආදරය එකිනෙකා අගය කරන ආකාරය දකින දරුවෝ අනෙකාගේ ජීවිතයට ජීවත්වීමේ අයිතියට ගරු කරති. අනෙකාගේ හොඳ අගයති. දියුණුවට කැමැති වෙති. මේ තාත්තා දියණියට මවු ගුණ නොමසුරුව කියා දෙයි. එපමණක් නොව තාත්තාට ඔහුගේ ඇස් දෙක තරම් අම්මා වටිනා බව දියණියට පවසයි. මිනිසකුට ජීවත් වීමේදී ඇස් දෙක තරම් ප්‍රයෝජනවත් යමක් නැත. ලෝකයේ හොඳ නරක, සුන්දර අසුන්දර සියල්ල ඔහු හඳුනා ගන්නේ ඇස් දෙකෙනි. එසේනම් මේ අම්මා ඔහුට ලෝකය හඳුනාගන්න උදව් කළ මවු කෙනෙකි. ඔහුගේ ජන ජීවිතයට ආලෝකය ගෙනා මවු කෙනෙකි. ඒ මව දියණියකට ලැබිය හැකි උතුම් මව බව තාත්තා දියණියට පවසයි. මේ තාත්තා මතු බුදුවන තාත්තා කෙනෙකි. දියණියට ඒ බව දැනේ.
"වාසනාවන්"
ඇය ඒ උතුම් අම්මා අගයන්නේ එසේ කියමිනි.
"වරදක් වී දඬුවම් දෙන දා
හොර බොරු නොකරනු දුව කිසිදා"
ජීවිතයේදී අප සෑම විටම නිවැරැදි නොවේ. වැරැදීම මනුෂ්‍ය ස්වභාවයයි. එය මේ තාත්තා හොඳින් දනී. ඒ නිසා තාත්තා කිසිදා වැරැදි නොකරන ලෙස පවසමින් අසීරු ප්රයාමයන්ට ප්‍රයෝගික නොවන තත්ත්වයන්ට දුවව පත් නොකරයි. ඒ වෙනුවට ඔහු දුවට වඩාත් යථාර්ථවත් මඟ පෙන්වීමක් කරයි. එනම් "ඔබද මනුෂ්‍යයකු බැවින් වැරැදීම් සිදුවිය හැකිය. එය තාත්තා ලෙස මම දනිමි. එහෙත් දුවේ, වරදක් ඔබ අතින් සිදුවී එයට දඬුවම් විඳින්න සිදු වුවත් එම වරද වසා ගන්න හොර බොරු කවදාවත් කරන්න එපා දුවේ" සත්‍ය මත පිහිටා කටයුතු කරන්න. මේ තාත්තා දුවට කියන්නේ අසීරුම අවාසිම මොහොතේ පවා සත්‍යවාදී වන ලෙසයි. තමා කළ වරද පිළිගැනීම ඒ වෙනුවෙන් ලැබෙන දඬුවමට යටත්වීම සහ සත්‍යගරුක වීම මනුෂ්‍ය ධර්මතා අතර මුල්තැනක් ගන්නා බවත් එය දියුණු සමාජයීය ලක්ෂණයක් බවත්, තාත්තා දුවට කියා දෙන අපූරුව හදවත සනහාලයි.
"නෑ කරන්නේ"
දියණිය ඒ බැව් අවබෝධ කරගනී. ඒ වටිනා ගුණය රකින බව ඇය පොරොන්දු වෙයි.
"වරදට ආයුෂ අඩුයි ලොවේ
හොඳ පවතී හැමදාම දුවේ"
හොඳ දේ ලෝකය සුවඳ කරමින් සැමදා පවතින බවත්, වරද සහ වැරැදි දෙය තාවකාලිකව බලවත් වුවත් එය ඉක්මනින් ලෝකය විසින් බැහැර කරනු ලබන බවත් තාත්තා දුවට කියා දෙයි. එම නිසා වරදක් වුවත් එය ඉක්මනින් නිවැරැදි කරගෙන හොඳ පුද්ගලයකු ලෙස ජීවත්වීම වැදගත් බව තාත්තා ඔවදන් දෙයි. දරුවන්ට මවුපියන් පූර්ව ආචාරීන් වන්නේ මේ නිසාය. සමාජයට ආධුනිකයකු ලෙසින් පිවිසෙන දරුවාට සමාජය සර්ව සුබවාදී තැනක් නොවන බව කියා දීමටය. එහි සර්ව නිර්දෝෂී පුද්ගලයන් නැති බව කියා දීමටය. මේ ගැන කියා දෙන තත්තාට සේම දියණියටත් එසේ සිටිය නොහැකි බව කියා දෙන ගමන් අතපසුවීම් ඉක්මනින් නිවැරැදි කරගැනීම මිනිසකු සතුවිය යුතු වටිනාකමක් බවත් තාත්තා කියා දෙන විට,
"සැබැයි සැබැයි"
යනුවෙන් දියණිය පිළිතුරු දෙන්නේ මේ තාත්තාගේ ජීවිතය ඇය ආදර්ශයක් කොට ගෙන ඇති නිසා විය හැකිය.
"සැප මෙන් දුක ඉවසා ඉන්න
හිනැහී සිත සනසා ගන්න"
මිනිසකු මුහුණ දෙන සියලුම සිදුවීම් සහ අත්දැකිම් ඔහුගේ සතුටට හේතුවන සිදුවීම් නොවේ. දුක සැප, යස අයස, නින්දා ප්‍රශංසා සහ ලාභ අලාභ විටෙක ඔහු දුකටත්, සතුටටත් පත් කරවයි. මේ අටලෝ දහම සියලු සත්ත්වයන්ට පොදු වූවකි. එය ඉක්මවා යෑමට පුහුදුන් පුද්ගලයන්ට අසීරුය. ජීවත්වීම යනු මේ සියල්ලටම මුහුණදීමයි. මේ ධර්මතා සැමට පොදු වේ නම් ඒ පිළිබඳ හඬා වැලපී කාලය නාස්ති කරගැනීමෙන් සිදුවන යහපතක් නැත. හිත හදා ගැනීම හැර කළ යුතු අන් කිසිවක් නැත. හිත සනසා ගැනීමට සිනාව තරම් ඔෟෂධයක් තවත් නැත. එම නිසා පැමිණි දුක් පැණි රස යැයි සිතා සිනාසී ජීවිතයට මුහුණ දෙන මෙන් තාත්තා පවසයි අහිමි දෙය හෝ ලබාගන්නට අසීරු දෙය ගැන දුක් වනවාට වඩා ලැබී ඇති දේ ගැන සතුටු වන ලෙස තාත්තා දියණියට කියා දෙයි.
" හා හා හොඳයි"
දියණිය එය හිස් මුදුනින් පිළිගනී.
"නැති බැරි අය හට පිහිට වෙනූ
නැති තැන ඇති දෙය පිනට දෙනූ"
ජීවිතය මෙහෙවරක් කිරීම උදෙසාද කැප කළ යුතුය. එය මිනිසත්කමයි. තාත්තා දියණියට මිනිසත්කමේ උතුම් අරුත කියා දෙයි. ඒ තමාට වඩා වරප්‍රසාද අඩුවෙන් ඇති අය වෙනුවෙන් වැය කරන්න කාලයක් ජීවිතයෙන් වෙන් කර ගන්නා ලෙසයි. මේ පිහිටවීම මුදලින්, ශ්‍රමයෙන්, දැනුමෙන් පමණක් නොව සමහර විටෙක කරුණාබරිත වදනකින් හෝ සවන්දීමකින් විය හැකිය. එවන් පිහිටක් ඇවැසි අය වෙනුවෙන් කාලය වෙන්කර ගන්නා අයහපත් මිනිසුන් අතර තම දියණියද සිටිනු දකින්නට රිසි වූ පියකු එසේ කීමෙන් පමණක් නොනැවතී පුහුදුන් මිනිසකුට කිරීමට ඉතාම අසීරු කර්තව්‍යයක් කිරීමට දියණියට ඔවදන් දෙයි. ඒ තමා සතුව වැඩිපුර ඇති දෙය එසේ නැති අයට දෙන ලෙසයි. තණ්හාවෙන් එකතු නොකර ඇවැසි පමණට තබා ගනිමින් වැඩිපුර දෙයක් ඇත්නම් ඒවා අවශ්‍ය එහෙත් ලබා ගැනීමට හැකියාවක් නැති අයට දෙන ලෙස තාත්තා දියණියට කියයි. අනවශ්‍ය ගොඩගසා ගැනීම්වලින් තොරව අන්‍යයන් වෙනුවෙන් තමා ඉපැයූ දෙයින් යමක් දෙන, අනුන්ට පිහිට වන, වරද පිළිගන්නා සත්‍යගරුක අටලෝ දහමින් කම්පා නොවී සිනාසී ජීවිතයට මුහුණ දෙන මවුපියන්ගේ අගය දන්නා දරුවකු ලෝකයට දායාද කරන්න තම දියණියට ආදරයෙන් ඔවදන් දෙන තාත්තා කෙනකු හමුවීම තරම් වාසනාවක් දියණියකට තවත් ඇද්ද? ලෝකයේ පැවැතිය යුතු යහපත් පුරුෂාර්ථ, ගුණ දහම්, ධර්මතා වියැකී යන අවිචාරවත් සමයක ජීවත් වන අපට මෙබඳු ගීත අසන්න නොලැබීමේ අඩුව අන් කවරදාටත් වඩා දැනෙයි. දියණියන් නොහඳුනන පියවරුන් වෙසෙන සමාජයක, මවුගුණ නොහඳුනන මවුවරු සිටින සමාජයක මෙබඳු ගී කෙසේ ලියැවෙන්නද? මෙවන් ඔවදන් නොලද දියණියෝ පියවරුන් මහමඟ දමා යති, බලු කූඩුවල දමති, මහලු නිවාසවල හැරදා තනි කරති.
Wmqgd .ekSu u