Life
ඔබත් ඇදුම රෝගියෙක්ද? මේ ගැනත් දැනගන්න
අපට ජීවත්වීම සඳහා අවශ්‍ය සියලුම ද්‍රව්‍ය යම් සැලකිය යුතු වේලාවක් නොමැතිව සිටිය හැකිය. එහෙත් හුස්ම ගැනීම නොකර සිටිය හැක්කේ ඉතාමත් ස්වල්ප වේලාවකි. ඉදින් කෙනකුට ශ්වසන අපහසුතාව ඇතිවීම ඉතාමත් බියක් හා අපහසුතාවක් ඇති කරවයි. අප ශ්වසන පද්ධතිය මගින් පරිසරයේ ඇති ඔක්සිජන් වාතය නාසයෙන් ඇතුළු වී ශ්වාසනාළය මගින් පෙණහලු කරා රැගෙන යෑම සිදුවේ. මෙම මාර්ගය ඇහිරීම, පටුවීම, භ්රාසයට පත්වීම (Spasm) නිසා ශ්වසනයට බාධා වේ. ඇදුම රෝගී තත්ත්වයේදී මෙලෙස ශ්වසන මාර්ගය පටුවීම හා භ්රාසයට පත්වීම සිදුවේ. එය කාලීන වශයෙන් නිදන්ගත ලෙස ඇතිවීම ඇදුමේදී සිදුවේ.
කුඩා කල දරුවන්ට ඇතිවන ඇදුම රෝගය නිට්ටාවට සුව කිරීම බොහෝ විට හැකිවේ. නමුත් වැඩිහිටියන්ට ඇතිවන ඇදුම තත්ත්වය පාලනයෙන් යටපත් කළ යුතු බව බොහෝවිට දක්නට ලැබේ.
ශ්වසන මාර්ගය උත්තේජනය වන යම් හේතු කාරණාවක් බලපෑමෙන් ඇදුම රෝගී තත්ත්වය උත්සන්න වේ. එසේ බලපාන කරුණු පුද්ගලයාගෙන් පුද්ගලයාට සුවිශේෂි වේ. මෙහිදී මල් පරාග, දූවිලි අංශු, සීත සුළං, සිගරැට් දුම්, සුවඳ විලවුන්, සත්ත්ව ලොම් වර්ග ආදී එදිනෙදා පරිසරයේදී අපට නිතර ගැටෙන ද්‍රව්‍යවලටද අසාත්මික වී ශ්වසන පද්ධතිය උත්තේජනය වීම සිදුවේ. තවද ශ්වසන මාර්ගයට වැලඳෙන ඕනෑම රෝගී තත්ත්වයකදී ඇදුම රෝගය උත්සන්න විය හැකිය.
ඇදුම සඳහා වෛද්‍යවරයා විසින් බොහෝවිට ශ්වාස නාළ විස්තාරක ඖෂධ හා ස්ටිරොයිඩ වර්ග නිර්දේශ කරනු ලබයි. ශ්වාස නාළ විස්තාරක ඖෂධ මගින් ශ්වසන අපහසුතාව අවම කර ශ්වසන මාර්ගයේ වඩාත් ඉඩ පහසුකම් සලසා දෙයි. එමගින් ශ්වසන මාර්ගයේ බාධා තත්ත්වය අඩුවේ. ස්ටිරොයිඩ ඖෂධ මගින් රෝගය මර්දනය කර පාලනය කරයි.
අනිත් රෝගවලදී මෙන්ම වෛද්‍ය නිර්දේශය මත නිසි ලෙස ඖෂධ ලබාගෙන රෝගය පාලනය කරගැනීම අත්‍යවශ්‍යය. මෙහිදී ගිලින පෙති, පැණි හා උරන ඖෂධ නියම කළ හැකිය. මෙහිදී උරන ඖෂධ මගින් ප්‍රතිකාර කිරීම ප්‍රධානතම ප්‍රතිකාර ක්‍රමයයි. එහිදී වැදගත් වන්නේ වඩා අඩු ඖෂධ ප්‍රමාණයකින් වැඩි ප්‍රතිඵලයක් ලබාගැනීම, අතුරු ආබාධ අවම වීම, ක්ෂණික ප්‍රතිඵල ලැබිම, දීර්ඝ කාලීන භාවිතයට වඩා ආරක්ෂා සහිත වීම ආදී කරුණුය.
ඖෂධ භාවිත කළ විට වෙව්ලීම, පපුවේ ගැස්ම ආදී අපහසුතා ඇතිවිය හැක. ඖෂධ ගැනීමේදී සෑම විටම අවදානම ඇති දීර්ඝකාලීනව අතුරු ආබාධ ඇතිවීමේ හැකියාවක්ද ඇත.
මෙහිදී නිසි ලෙස ඇදුම රෝගය පාලනය පිළිබඳ දැනුවත් වීම හා ඊට සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍ය කරුණකි. දුම්පානයෙන් වැළකීම අත්‍යවශ්‍යය. ජීවත්වන පරිසරයේ ඇති ශ්වසන උත්තේජක කරුණු ඉවත් කළ යුතුය. එහිදී පරිසරය දූවිලිවලින් අවම කර පවත්වාගෙන යෑම, දූවිලි රැඳෙන අනවශ්‍ය බඩුභාණ්ඩ, පොත්පත්, රෙදි ඉවත් කළ යුතුය. බළලුන්, බල්ලන් වැනි සුරතල් සතුන් ගෙතුල ඇති නොකිරීම වඩාත් සුදුසුය. තවද තමා හඳුනාගත්, තමන්ට ඇදුම රෝගය උත්සන්න වන සාධකවලින් මිදී සිටීම රෝග පාලනයේදී වැදගත් වේ.
රෝග තත්ත්වය උත්සන්න වීම අධික ලෙස දහඩිය දමා හද ගැස්ම වැඩිවීම මගින් අනතුරු අඟවයි. ශ්වසන අපහසුතාව නිසා වාක්‍යයක් එක දිගට සම්පූර්ණ කළ නොහැකි වේ. රෝගියාගේ ඇදුම රෝග තත්ත්වය උත්සන්න වීම මුලින් හඳුනා නොගෙන සිටීමෙන් රෝගියා බියට හා කාංසාවට පත්වේ. ශ්වසන අපහසුතාව නිසා මරණ බිය ඇතිවේ. මේ අවස්ථාවේදී රෝගියා රැකබලා ගන්නා පුද්ගලයා කලබල නොවී අත්‍යවශ්‍ය හදිසි කරුණු ඉටු කිරීම වැදගත් වේ.
රෝගියාට හොඳින් වාතාශ්‍රය ලැබිමට ඉඩ සලසා දිය යුතුය. ඉන්හේලරය (Inhaler) ඉරීම, නිහාරිකරණය (Nebulizing) රෝගියාට ක්ෂණිකව සහනය ඇති කරනු ලැබේ. හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතාමත්ම අත්‍යවශ්‍ය කරුණය. ඊට හේතු වන්නේ ශරීරයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම නිසා හෝ නැතිවීම නිසා මොළය වැනි සියුම් ඉන්ද්‍රියන්ට ගැටලුකාරී ලෙස බලපෑම් ඇතිකරන බැවිනි.
ඇදුම රෝග පාලනයේදී වෛද්‍ය අනුමැතිය මත ඖෂධ ලබාගැනීම අත්‍යවශ්‍යය. ඖෂධ මාත්‍රා වෙනස් කිරීම හෝ නතර කිරීම හිතුමතේ කළ නොහැක. බොන ඖෂධ මෙන්ම උරන ඖෂධ නිසි ලෙස භාවිත කළ යුතුය. උරන ඖෂධ භාවිතයේදී ඇති උපදෙස් හරියාකාරව පිළිපැදීම අවශ්‍යය.
සැමවිටම තමා පාවිච්චි කරන ඖෂධ ඇතුළත් කාඩ්පතක් ළඟ තබාගැනීම හොඳ පුරුද්දකි. එලෙසම අනෙක් සියලු රෝගවලට ප්‍රතිකාර ලබාගන්නා සෑම අවස්ථාවකදීම ඇදුම රෝගයෙන් තමා පෙළෙන බව වෛද්‍යවරයාට දැනුම් දිය යුතුය. එමගින් රෝග ප්‍රතිකාරය නිසි ලෙස ඉටු කිරීමට පහසු වේ. තමාට රෝගය උත්සන්න කරන ආහාරපානවලින් වැළකී සිටීම රෝග පාලනයේදී වැදගත්ය.
Wmqgd .ekSu ��r mqj;am; weiqfrks