ග්‍රහ අපලයන් කියූ සැණින්, ප්‍රථමව සිහිවන්නේ තමාගේ ජන්ම පත්‍රය වේ. තමාගේ ජන්ම පත්‍රයට අනුව තම ජීවිත කාලය පුරාවට නොයෙකුත් ග්‍රහ අපල තත්ත්වයන් ඇති වන අතර "ඒරාෂ්ටක" අපල යනු ඕනෑම පුද්ගලයකුට තම ජීවිත කාලය තුළ බලපාන භයානක අපල තත්ත්වයකි. ජ්‍යෝතිෂය පිළිබඳව අල්ප දැනුමක් හෝ ඇති කෙනකු "ඒරාෂ්ටක" කියූ සැණින් බිය වෙති. නමුත් තමාට ඒරාෂ්ටක අපල කාලයක් ඇති වන්නේ කවදාද? යන්න පෙරසිට හඳුනාගෙන, එයට කළ යුතු නිසි පිළිවෙත් සිදු කරන්නේ නම් හා පස්පවින් වැළකී ධර්මිෂ්ඨව ජීවත් වන්නේ නම් ඒරාෂ්ටකයට බිය විය යුතු නොවේ. එනම් ඒරාෂ්ටකය නිසා ඇතිවන භයානක විපත්කාරී තත්ත්වයක් සිදු වීමට පෙර වළක්වා ගැනීමේ හැකියාව පවතී.
කෙසේ නමුත්, ඒරාෂ්ටකය කුමන අවස්ථාවේ උදා වන්නේද? එහි බලපෑම කෙසේද? යන කරුණු ජන්මියාගෙන් ජන්මියාට වෙනස් වේ. ඒරාෂ්ටකය යනු ශනිගේ ගෝචර ගමන පදනම් කරගෙන ඇති වන්නා වූ තත්ත්වයකි. එනම් ශනි, ලග්න භාවයත්, ඉන් දෙවැන්නත්, 12 වැන්නත් යන ස්ථානවල ගෝචර වීමත් (ලග්න ඒරාෂ්ටකය) ලග්නයෙන් 8 වැනි භාවය ගෝචර වීම (ලග්න අෂ්ටම) උපතේදී සඳු සිටින භාවය ගෝචර වීම ( ජන්ම ඒරාෂ්ටක හා උපතේදී සඳු සිටි භාවයෙන් 8 වන භාවය ශනි ගෝචර වීම (ජන්ම අෂ්ටම) ඒරාෂ්ටක අපල ලෙස හඳුන්වයි.
මෙහිදී භාවයක අංශක 30 ක් ඇති හෙයින් එක භාවයක ගමන් කිරීම සඳහා ශනිට අවම වශයෙන් වසර 2 1/2 ක කාලයක් ගත වේ. මෙහිදී ඒරාෂ්ටකය තීරණය කිරීම සඳහා ජන්මියාගේ ලග්න ඒරාෂ්ටකය හා චන්ද්‍ර ස්ඵුටකය දැන ගත යුතු වේ. එයට අනුරූපිත ඒරාෂ්ටකයට අදාළ වන භාවයන් තීරණය කළ යුතු අතර එම නිර්ණය කළ ස්ථානවලින් ශනිගේ ගෝචරය පදනම් කරගෙන ඒරාෂ්ටක අපලය ලබන කාලය නිවැරදිව තීරණය කළ යුතු වේ. එනම් සෙනසුරු රාශිය මාරු වූ පමණින් ඒරාෂ්ටකය උදාවීම හෝ අපලය අවසාන වීම සිදු නොවේ. මෙය භාව සංකල්පය වේ.
යම් කෙනකුට ඒරාෂ්ටකයක් ලැබූ විට, එම ඒරාෂ්ටක කාලය තුළ ගෘහ ජීවිතය සම්බන්ධ ගැටලු ඇති වීම, හදිසි අනතුරු හා විපත්, අධ්‍යාපනයේ බිඳ වැටීම් ව්‍යාපාර බුන්වත් වීම, නිකරුණේ නින්දා අපහාස ලැබීම, නොසිතූ ලෙඩරෝග ඇති වීම, චිත්ත පීඩා ඇති වීම, තම ආර්ථික තත්ත්වය පහත වැටීම, හෝ මරණය පවා ඇති විය හැකිය. එසේම ඒරාෂ්ටක කාලය තුළදී ධනය ලැබීම, විභාගවලින් ජයග්‍රහණ ලැබීම, ගේ දොර ඉදිකිරීම් සිදු කිරීම, යාන වාහන මිලදී ගැනීම හෝ විවාහ මංගල කටයුතු සිදු කිරීම ආදී සුබ කටයුතු පවා සිදු විය හැකිය. මෙයට හේතු වන්නේ කේන්ද්‍රයේ සෙනසුරුගේ බල දුබලතාවය, චන්ද්‍රයාගේ බල දුබලතාවය ඒරාෂ්ටක කාලය තුළදී ගත කරන මහ දශා, අන්තර් දශාවල බල දුබලතාවය, අනෙකුත් ග්‍රහයන්ගේ ගෝචර ගමන ආදිය පදනම් කරගෙන ඉහත සඳහන් කළ සිදුවීම් සිදු විය හැක. මෙහිදී ජ්‍යෝතිෂවේදියා විසින් ඉහත සඳහන් කළ සියලුම දෑ සම්බන්ධව නිවැරදි ලෙස ගණනය කිරීම සිදු කළ යුතු වේ. උදාහරණයක් ලෙස ජන්ම පත්‍රයක චන්ද්‍රයා වෘශ්චික රාශියේ, 20 වන අංශකයේ තැන්පත්ව ඇතැයි සිතමු. (චන්ද්‍ර ස්ඵුටක වෘශ්චිකයේ අංශක 20) එවිට ජන්ම ඒරාෂ්ටකය කාලය වන්නේ ශනි වෘශ්චික රාශියේ අංශක 5 සිට ධනු රාශියේ අංශක 5 දක්වා ගමන් කරන කාල පරිච්ඡේදයයි. මෙහිදී ඒරාෂ්ටකයේ බල දුබලතාවය තීරණය කර ගැනීමේදී භාව ඵලයට පදනම්ව, රාශි ඵලය ගළපා ගත යුතු වේ. පිළිවෙළින් ශනි, මේෂ, කටක, වෘශ්චික, සිංහ රාශිවල දුර්වල වේ. ඉහත සඳහන් කළ ස්ථානයක් (ඒරාෂ්ටකයට අදාළ භාවයක්) ඉහත රාශියකට සම්බන්ධ වුවහොත් ඒරාෂ්ටකය බලවත් වේ. එවිට අයහපත් ප්‍රතිඵල ගෙන දේ. එසේම ඉහත සඳහන් කළ රාශියක, චන්ද්‍රයා පිහිටි විට ඒරාෂ්ටකය බලවත් වේ. එසේම රාහු සඳු සමඟ යෝගවීම හෝ ලග්නය 12 වැන්න, 8 වැන්න, 2 වැන්න (භාවවල) යන ස්ථානවල පිහිටියේද ඒරාෂ්ටකයේ බලපෑම අයහපත් වේ.
එසේම අමාවක දිනයක හෝ ආසන්න දිනයක ඉපදීම, එනම් රවි, චන්ද්‍ර යෝග වූ අයගේ ජන්ම ඒරාෂ්ටකය හා ජන්ම අෂ්ටම ඒරාෂ්ටකයත් වඩා අයහපත් වේ. මෙහිදී මේෂ හා වෘශ්චික ලග්න හිමියන්ට මෙය ප්‍රබල යෝගයක් වූවත්, (අමාත්‍ය යෝගය හා ධර්ම කර්මාධිපති යෝගය) ඒරාෂ්ටක ලැබූ විට ඔවුන්ට කරදර බාධා ඉතා අධික වේ. මීට අමතරව ජන්මියාගේ ශනි ප්‍රබල නම් (තුලා, මකර, කුම්භ රාශියක ශනි ඇති විට) ඒරාෂ්ටකයේ බලපෑම අවම වේ.
සෑම ජ්‍යෝතිෂ න්‍යායකටම අනුව ඒරාෂ්ටකය පිළිබඳව යහපතක් ලියවී නොමැති අතර (නාඩි, සාම්ප්‍රදායික ජ්‍යෝතිෂය, ක්‍රිෂ්ණමූර්ති, භාව, පේමිණි ආදි) ඒරාෂ්ටකය කාලඡේද කිරීමේදී නීරෝගීකම, සැප සම්පත් ලබාදෙන, යහපත් කටයුතු සිදු වන කාලසීමාවන් ඇත. එකම සම්භාවිතාවට අනුව සෑම පුද්ගලයකුගේම ජීවිත කාලයෙන් හරි අඩක් පමණ ඒරාෂ්ටක අපල ඇත. එහිදී තදබල අපල ජීවිත කාලයෙන් අඩකට වඩා පවතීද මරණය සිදු වන්නේ එක් වරකි. නමුත් ලෙඩරෝග ඇතිවීම කීපවරක් සිදුවිය හැකිය. ඒවා දීර්ඝ කාලීනව පවතින ඒවා සහ කෙටි කාලීනව පවතින ඒවා වශයෙන් කොටස් කළ හැකිය. එහිදී ඒරාෂ්ටකයෙන්ම මෙවැනි දේ සිදු නොවේ. එහිදී මහ දශාව, අන්තර් දශාව, ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම් සියල්ල පාදක කරගෙන පලාපල කථනය සිදු විය යුතුය. දුර්වල, අයහපත් ග්‍රහයන්ගේ ලග්නයට අහිතකර ග්‍රහයන්ගේ මහදශා, අන්තර් දශාවල සෙනසුරු ඒරාෂ්ටකයක් උදා වුවහොත්, ගින්දරට දර දැමූ විට ගින්න විශාල වනවා සේ ජන්මියාට අනතුරු කරදරවල බලපෑම ඉතා අධික වී මරණය පවා ගෙන දිය හැක. ඒරාෂ්ටක කාලවලදී ධර්මිෂ්ඨ වුවහොත්, එහි අයහපත් බලපෑම අවම කරගත හැකි අතර, වත්පිළිවෙත් කිරීම හා යන්ත්‍ර පැළඳීම මගින් මෙහි බලපෑම අවම කරගත හැකිය.
කර්මකාරකයා ලෙස හඳුන්වන, දුකට අධිපති ශනි යහපත් වූ ජන්මියාට යහපත් ප්‍රතිඵල ලබා දෙයි. එනම් ඒරාෂ්ටකය අවස්ථාවක් කරගනිමින් අධ්‍යාපනය ලැබීමට, නිවාස ඉදිකිරීමට, විවාහ ජීවිතයට ඇතුළු වන්නට, දරුවන්ගේ කටයුතුවලට කැපවීමට, විශාල ඉඩම් වගා කිරීම වැනි බොහෝ දුක් විඳීමට සිදු වන්නා වූ කටයුතු කිරීම තුළින් ඒරාෂ්ටකය ආයෝජනයක් කර ගැනීමට ධර්මිෂ්ඨ පුද්ගලයන්ට හැක. ධර්මිෂ්ඨ වීම යනු පන්සිල් සුරැකීම, මානසික ඒකාග්‍රතාව රඳවා ගැනීම වේ. එනම් ඒරාෂ්ටක කාලසීමාව තුළ භාවනා කිරීම ඉතා යහපත් වේ. මීට අමතරව ඒරාෂ්ටක අපල සඳහා කරන විශේෂ පිළිවෙත් මගින්ද ඒරාෂ්ටක අපල මඟහරවා ගත හැකි අතර ජන්මියාගේ මහදශා, අන්තර් දශා, පාදක කරගෙන ඊට අදාළ වත්පිළිවෙත් කිරීම මගින් මෙම ඒරාෂ්ටක අපල මඟහරවා ගත හැකි වේ. ඔබගේ ජන්ම පත්‍රයට අදාළ වත්පිළිවෙත් සිදු කරන අතරතුර, පහත පිළිවෙත සිදු කර ඔබගේ ඒරාෂ්ටක අපල තත්ත්වය දුරු කර ගන්න.
සෙනසුරාදා දිනක ඵලතල හා කළුතල ග්‍රෑම් 50 බැගින් ගෙන ඒවා එළඟිතෙලෙන් අනන්න. පසුව එම මිශ්‍රණය කුඩා පිරිසිදු රෙදි කැබලි 3 ක් ගෙන එයට දමා කුඩා පොට්ටනි 3 ක් සාදා ගන්න. එම පොට්ටනි 3 ගිනි කබලක දමා, ගිනි ගන්නා විට තම ඔළුව වටා 3 න් වරක් කරකවන්න. පසුව එය ගිනිගත් පසු ඉතිsරි වූ අළුටික මහ මුහුදට ගසාගෙන යැමට දැමිය යුතුය. මෙය ඒරාෂ්ටකය සඳහා කළ යුතු, ප්රතිඵලදායී පිළිවෙතකි.