ප්රශ්නය - පසුගිය සතියේ ඔබ අපට ඉතා ප්‍රයෝජනවත් කසායක් දුන්නා. එම වට්ටෝරුව මේ වන විට දහස් සංඛ්‍යාත ආතරයිටීස් රෝගීන් අතර ජනප්‍රියව පවතින බව අපට ලැබෙන දුරකථන ඇමතුම්වලින් පෙනී යනවා. අද ඔබ අපට ලබාදෙන කසාය කුමක්ද?
වෛද්‍ය වසන්ත උදයජීව - මා මෙවර දෙන්නෙත් පවතින වියළි සීතල කාලගුණයට ගැලපෙන කසායක්. මේ කාලයේදී සමහර රෝගීන්ගේ ආතරයිටීස් රෝගය ඉතාම තදින් ඉස්මතු වෙනවා. එවිට සන්ධි නමන්න දිගහරින්න බැරි වෙනවා. සන්ධි ඉදිමෙනවා. මේ කසායෙන් ඒ සියලු ප්‍රශ්න නැති කරගන්නට පුළුවන්.
කසාය - නික මුල්, නික පොතු, ආපසුමදු මුල්, අමු ඉඟුරු, සුදු ලූනු, බෙලි මුල්, කලං 2 බැගින් ගෙන වතුර පත හතකට දමා පත අට එක පතකට සිදුවා සහිඳ ලුනු සමඟ පානය කළ යුතුයි. සහිඳ ලුනු දැමිය යුත්තේ අතේ ඇඟිලි දෙකට හසුවන ප්‍රමාණය පමණයි. මේ ආකාරයෙන් දින 12 ක් උදේ කෝප්ප භාගයක් සහ සවස කෝප්ප භාගයක් බැගින් පානය කළ යුතුයි.
ප්රශ්නය - මේ කසාය රෝගියාගේ ශරීරය කෙරෙහි බලපාන්නේ කොහොමද?
වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේදයේ තිබෙනවා ඕනෑම රෝගයකට ප්‍රවේශ වන විදියක්. එය ඉතාම සංකීර්ණ ප්‍රවේශයක්. ඉස්සර කාලේ හිටපු වෙද මහත්තුරු ලෙඩෙක් ආවහම අහනවා ගම කොහෙද කියලා. ඒ අහන්නේ ඕපදූපයක් දැනගන්න නොවෙයි. ලෙඩාගේ ගම පිහිටි පළාතේ කාලගුණික තත්ත්වය, එය තෙත් කලාපයට අයත් ගමක් ද එහෙමත් නැතිනම් වියළි කලාපයට අයත් ගමක්ද කියන එක දැනගන්න. එහෙම දැනගත්තාම වෛද්‍යවරයාට පුළුවන් රෝගියාට ගැලපෙන විදියට බෙහෙත් කරන්න. නිතර වහින පළාතකින් එන රෝගියෙක් නම් ඔහුට වඩාත් ශීත ගුණය සහිත ඖෂධ නුසුදුසු වෙන්න පුළුවන්.
හේන් ගොවිතැන් කරන පළාතකින් එන ගොවියෙක් නම් වෛද්‍යවරයා දන්නවා ඔහු කන්නෙ මොනවද, ඔහු කරන වැඩවලින් කොයි කොයි සන්ධි වැහැරෙනවාද කියන එක. දැන් මේ කසායේ තිබෙනවා නික මුල් සහ නික පොතු. මේ දෙකම විෂබීජ නාශක ගුණය සහිතයි. ඒ කියන්නේ බැක්ටීරියා නසන්නට මෙයට පුළුවන්. අමු ඉඟුරුවල තිබෙනවා වේදනාව නසන ගුණය. සුදු ලූනු ශරීරය සමහන් කරන ඖෂධයක්. මේ සියල්ල එකතු වුණාම ආතරයිටීස් වේදනාව සහ ඉදිමුම කළමනාකරණය කරගන්න පුළුවන්.