Health
අංශභාගය වළක්වා ගත හැකිද? ප්‍රබලයා දුබලයා කරන අංශභාගය
පැත්තක් පණ නැති වුණොත්? කොහොමද ජීවිතය ගෙවන්නෙ. කවුරුන් හෝ පිහිටට ගත යුතුයි නේද? කිසිම කෙනෙකුට කරදරයක් නොමැතිව ජීවත් වන්නට උත්සාහ ගත් අයෙක් එවන් ශෝචනීය වූ තත්ත්වයකට පත් වීම කොයි මොහොතේ කොහේදී හෝ සිදුවිය හැකියි.
නමුත්, අප ඒ පිළිබඳව යම් අවබෝධයක් ලබා තිබීම ඒ අත්දැකීමට පත්වන්නට පෙර කළ යුතු දෙයකි. ආදරය කරුණාව මැද ජීවිතය ගෙවන අයෙක් මෙවැනි අකර්මන්යතාවලට ලක්වීම කෙසේ සිදුවිය හැකිදැයි පමණක් නොව එවැනි සිත් තැවුල් ඇති කරලීමත් ඊට අනුගත නොවූ අයට ද ඇතිවන කරුණක් බැවින් මේ කුමන රෝග තත්ත්වවයක් ද යැයි විමසා බැලීම වඩාත් යෝග්‍යයි.
ආචාර්ය ආයුර්වේද වෛද්‍ය බුද්ධික රද්දැල්ගොඩ මෙවැනි රෝග ගැන වඩා සැලකිලිමත් විය යුතු බව සඳහන් කළේය.
රෝගය හඳුනාගැනීම
අංශභාගය ලෙස මෙම රෝගය හැඳින්වුවත් සමහර අවස්ථාවලදී අංශ දෙකටම වුවත් වැළඳීමට ඉඩ ඇත.
එක් ඉන්ද්‍රියක් මුල් කරගෙන හෝ ශරීරයේ ඉහළ කොටස මුල් කරගෙන හෝ මේ රෝග තත්ත්වය ඇතිවිය හැකියි. එසේම ශරීරයේ පහළ කොටස හෝ එක් පත්තක් මුල් කරගෙන ද අංශභාග රෝගය ඇතිවිය හැකියි. facial Paralise එනම් මුහුණේ එක පැත්තකට පමණක් වුවද ඇතිවිය හැකි ලක්ෂණයකි.
මොළයේ එක් පැත්තක අක්‍රියතාවය හේතු කොටගෙන අංශභාග රෝගය ඇතිවිය හැකියි. එනම් රුධිර නාලවල ඇතිවන කැටි ගැසීමකදී රුධිර පීඩන තත්ත්වය නිසා ඇතිවන්නා වූ පිපිරීම.
බාලක පක්ෂගාත රෝගය
විශේෂයෙන් මේ තත්ත්වය දරුවන්ට ඇති වේ. මවගේ කුසේ ඉන්නා විටදී ළදරුවාට විෂබීජයක් ඇතුල්වීම නිසා මේ රෝග ඇතිවිය හැකියි. මොළයේ යම් දුර්වලතාවයක් දරුවා තුළ හට ගැනුනොත් මෙම රෝග තත්ත්වයට හේතුවිය හැකි තව කරුණකි. එසේම ගර්භනී සමයේ මවට ඇතිවන ආතතිය සහ රෝගී තත්ත්වයන් නිසා ද බාලක පක්ෂාගාත රෝගයට ඉවහල් විය හැකියි. දරුවා බිහිවීම නිසා ඇතිවන බාහිර බලපෑම් මේ තත්ත්වයට තුඩුදිය හැකි කරුණු ලෙස තවදුරටත් පෙන්වා දිය හැකියි.
අංශභාගය රෝග තත්ත්වය ඇතිවීමට බලපාන හේතු
අධික රුධිර පීඩනය, දිගුකලක් තිස්සේ පවතින දියවැඩියා රෝග තත්ත්වය කොලෙස්ටරෝල් රෝග තත්ත්වය පැවතීම හා මානසික ආතතිය නිසා අංශභාගය ඇතිවීමට බලපානු ලබයි. බාහිර බලපෑම් ඇතිවීම තුළින් ද යම් විටෙක අංශභාගය ඇති වීමට ඉඩ ඇත. රිය අනතුරු හෝ තැලීම් වැටීම් තුළින් මෙම බාහිර බලපෑම් ඇති වේ. ඊට අමතරව ස්නායු ආබාධ නිසා ඇතිවන වෙනත් රෝග නිසාද මේ රෝග තත්ත්වයට මුහුණ පෑමට සිදු වේ.
රෝග ලක්ෂණ
එක් පැත්තක් හෝ එක් ඉන්ද්‍රියයක් අප්‍රාණික වීම මෙහි දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයකි. නින්ද යාම මෙම රෝගීන්ට අඩුවෙන් පවතී. හිසේ හා අත්වල පාදවල ඇතිවන අධික වේදනාව, අතේ පයේ ඇතිවන හිරිවැටීම, නිතර ඇතිවන හිසරදය වගේම නිතර කේන්ති යාම වැනි ලක්ෂණ පවතී. මුත්‍රා පාලනයකින් තොරව යාමද මෙම රෝගීන්ගෙන් දැකිය හැකි තවත් ලක්ෂණයකි. එනම් වේග පාලනයක් නොමැති වීමයි. මතක ශක්තිය අඩු වීම ගොළු බව හෝ කතා කිරීමට ඇති හැකියාව අඩු වී යයි. නිතර නිතර වාත, පිත, සෙම ගත තිදෝෂ කෝප වීමද ඇති වේ. ආහාර අරුචිය, මල බද්ධය, අධික රුධිර පීඩනය සහ දියවැඩියාව වැනි රෝගයක් ඇත්නම් එය පාලනය වීම අඩු වී යයි. ප්‍රතිශක්තිකරණය අඩු වී යයි. ප්‍රබලයා දුබලයා වීම මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරද්දී සිදු වේ. එවැනි දුබල තත්ත්වයකට පත්වීම අංශභාගය නිසා පත්විය හැකියි.
වළක්වා ගත හැකි ක්‍රම
මෙම රෝගය වළක්වා ගැනීමට නම් අප මුලින්ම කළ යුතු වන්නේ අපට ඇති බෝ නොවන රෝගවලට (දියවැඩියාව, කොලෙස්ටරොල්, අධික රුධිර පීඩනය, ගැස්ට්‍රයිටීස්) පිළියම් කිරීමයි. මේවා කළ යුතු වන්නේ නිසි වෛද්‍ය උපදෙස් මතයි. අපත්‍ය ආහාර විහරණ හා ගති පැවතුම්වලින් වැළකී සිටීම යෝග්‍ය බව සලකන්න. සාමාන්‍ය ලෙස විවේකයෙන් සිටීම උචිතයි. එය හොඳ නින්දකින් යුක්තවීම අගනේය.
ආතතියෙන් තොරවීම, මත්පැන් හා දුම්පානය භාවිතයෙන් තොරවීම, අධික මේදය සහිත ආහාර නොගැනීම ලුණු භාවිතය අඩු කිරීම, සුදුසු ව්‍යායාම කිරීම හා ආහාර පාලනය කිරීම තුළින් මෙම රෝගී තත්ත්වය වළක්වා ගැනීමට යම් උදව්වක් ලැබෙනු ඇත. ස්වස්ථභවය රැකගැනීම එනම් නිරෝගිකම පැවතීම තවත් එක් ක්රමයකි.
ස්වර්ණා ආරියූවංශ
Wmqgd .ekSu